‘‘ඒඩ්ස් මාරාන්තිකයි“ කියන එක ලොකු පොඩි හැම කෙනෙක්ම වගේ දන්න දෙයක්. සමහරු විහින් ඒඩ්ස් හදාගන්නෙ අනාරක්ෂිත ලිංගික එක්වීම් නිසා. හැබැයි තවත් සමහරුන්ට නොදැනුවත්වම මේ ලෙඩේ බෝවෙන්නෙ තමන්ගෙ ස්වාමිපුරුෂයාගෙන් හෝ බිරිඳගෙන්.
ඒ විදිහට තමන් පණ වගේ ආදරය කළ ස්වාමි පුරුෂයාගෙන් ලද ඒඩ්ස් දායාදය නිසා ජීවිතය අපායක් වූ තරුණියකගේ කතාවයි මේ.
කසාද බඳිනකොට මට අවු 24යි. උඩරට පන්නෙට ඔසරියක් එහෙම ඇඳලා, මාල හත දාලා, නෑදෑයො, යාළුවො, අසල්වැසියො හැමෝම ඉස්සරහාපිට දි, පෝරුවක් උඩ මඟුල් චාරිත්‍ර කරනකොට, ඒ දැනුණ හැඟීම මට අදත් ඒ විදිහට ම හිතින් විඳගන්න පුළුවන්.
මුල් ඇඳුමට එයා හරි පෙනුමයි. තේජාන්විත පාටයි. එයා තමයි මගෙ පළවෙනි ආදරේ. මං එයාට ගොඩාක් ආදරේ කළා. ඒ වගේ ම ගරු කළා. ඊටත් වඩා විශ්වාස කළා. මං හිතුවෙ මගෙ මුළු ලෝකෙ ම එයා කියලයි. කසාද බැඳලා කාලයක් යනකම් අපි හරි ආදරෙන් ජීවත් වුණා.
වැඩි කාලයක් යන්න ඉස්සරින් අපිට ලස්සන දුවලා දෙන්නෙක් ලැබුණා. මට මතකයි පළවෙනි බබා ලැබෙන්න දින කිට්ටු වෙද්දි මං වගේ ම එයත් හිටියෙ හරි බයෙන්. මට ටිකක් අමාරු වෙලා යන්තමට කෙඳරි ගෑවුණත් එයා හරියට කලබල වුණා.මගෙ ළඟින් ම හිටියා හෙල්ලුනේවත් නෑ. දුවලා දෙන්නා ආවට පස්සෙ අපේ ජීවිත තවත් එළිය වුණා.මගෙ පුංචි ගෙදර සතුටින් පිරිලා ඉතිරිලා ගියා. කවදාවත් මට ලොකු ලොකු හීන තිබුණෙ නෑ.
අවංකව ම මට ආදරේ කරන කෙනෙක්ගෙ වයිෆ් වෙන්න ඕන වුණා. මගේ ම කියලා වහලක් යට ජීවිතේ ගෙවන්න ඕන වුණා.කුසින් වදාපු දරුපැටවුන්ට ජීවිතේ කියලා දෙන්න ඕන වුණා. ඉතින් ඒ හැම හීනයක් ම පේළියට හැබෑවෙද්දි මට හිතුණා මං හරි අංග සම්පූර්ණ ගෑනියෙක් කියලා. ඒත් ඒ හැමදේම ටික කාලයයි. හදිස්සියෙ ම හෙනයක් පාත් වුණා වගේ හැමදෙයක් ම සුන්නද්දූලි වෙලා ගියා.
මට අද වගේ මතකයි මහත්තයට ඒඩ්ස් කියලා දැනගත්තු දවස. එදා මේ හිතට දැනුන දුක, වේදනාව, කලකිරීම කොයිතරම්ද කියන්න මගේ ළඟ වචන නෑ. දරු දෙන්නටත් හොරෙන් කුස්සිය මුල්ලට වෙලා කොයිතරම් නම් ඇඬුවද මං? මට දුක හිතුනෙ වෙන දෙයක් හින්දා නෙවෙයි. මං කවදාවත් දඩාවතේ ගිහින් නෑ. පිට මිනිහෙක් දිහා වැරදි විදිහට බලලාවත් නෑ. සීතාවක් වගේ පිරිසිදුවට මං හැමදාම මුළු හදවතින් ම එයාගෙ ම විතරක් වෙද්දි ඇයි එයා මට මෙහෙම කළේ? දඩාවතේ ගිහින් ඒ වගේ ජරා ලෙඩක් මේ ගෙදෙට්ට අරන් එන්න තරම් මොකක්ද මං එයාට කරපු වරද? මට කෑගහලා අහන්න ඕන වුණා. ගොඩක් දේවල් තිබුණා එයාව මගෙ ඇස් ඉස්සරහා තියාගෙන අහන්න. ඒත් ඒ එක ම එක ප්‍රශ්නෙකටවත් මට උත්තර ලැබුණෙ නෑ. එයා ළඟ ඒවට උත්තර තිබුණෙ නෑ.
ඒ හින්දම වෙන්න ඇති එයා වහ බිව්වෙ. හැමදාට ම අපෙන් ඈතට ම ගියා. මායි දරුදෙන්නයි තනි වුණා.
කොයිතරම් දරාගන්න බැරි කලකිරීමක් එක්ක වුණත් දරුපැටව් දෙන්නා වෙනුවෙන් එයාට සමාව දෙන්න තරම් මගෙ හිතේ හයියක් තිබුණා. ඒ වුණත් එච්චර දෙයක් වුණාට පස්සෙ මටයි දරුවන්ටයි මූණදෙන්න තරම් හයියක් එයාගෙ හිතේ තිබිලා නෑ. ඒ හින්දා වෙන්න ඇති එයා අපිව දාලා ගියෙත්.
මහත්තයට ඒඩ්ස් නිසා ඩොක්ටස්ලා කිව්වා මටත් ටෙස්ට් එකක් කරගන්න වෙයි කියලා.ඒ දවස්වල එහෙම ලෙඩ ගැන මට කිසිම අවබෝධයක් තිබුණෙ නෑ.
ටෙස්ට් එකේ රිපෝට් එක ආවාම මගෙ පපුව පිච්චිලා ගියා. එයා යද්දි මටත් ඒ ලෙඩේ දීලා ගිහින්. එයාට පණ වගේ ආදරේ කළාට, කාටත් වඩා එයාව විශ්වාස කළාට මට ලැබුණ තෑග්ග තමයි ඒ. ඔක්කොට ම වඩා මට මගේ සංසරෙ ම එපා වුණේ මගේ අහිංසක දරු දෙන්නටත් මේ ජරා ලෙඩේ හැදිලද කියලා සැක හිතුණමයි. එතකොට මට හිතුණෙ ම දරු දෙන්නත් අරන් කැලණි ගඟට පනින්න. ඒ තරමට ම ජීවිතේ එපා වෙලයි තිබුණෙ. ඒ වුණත් මගේ අහිංසක දරුවො දිහා දෙයියො බුදුන් බැලුවා. ටෙස්ට් කරපු ඩොක්ටර්ස්ලා කිව්වා දරුවන්ට එහෙම අසනීපයක් නැහැ කියලා. එතකොටයි මගෙ හිතට යන්තම් සැනසීමක් ලැබුණෙ.
ඉතින් මං හිතුවා මොනදේ වුණත් දරුවො වෙනුවෙන් ජීවත් වෙනවා කියලා. තාත්තත් නැති දරුවො දෙන්නව තවත් තනි කරන්න මට ඕන වුණේ නෑ. ඒ වුණත් මිනිස්සු අපිට අපේ පාඩුවෙ ජීවත් වෙන්න දුන්නෙ නෑ. හරියට අපි මේ දේවල් විහින් කරගෙන වගේ. අපි පාරක යනවා දැක්කමත් ගෙවල් ඇතුළට වැදිලා දොරවල් වහගත්තා. මූණක් බැලුවෙ නෑ. හැමතැනින් ම අපිව කොන් කළා. මායි දරුපැටව් දෙන්නයි ඉන්දැද්දි ම උන් අපේ ගෙට ගිනි තිබ්බා.
අමාරුවෙන් හදාගත්තු ගේ කෑල්ල ඇස්පනාපිට ගිනිබත් වෙද්දි කරකියා ගන්න දෙයක් නැති මායි මගේ දරුදෙන්නයි පාරට වැටුණා. මේ ප්‍රශ්න අස්සෙ දරු දෙන්නගෙ ඉගෙනීමත් කඩාකප්පල් වුණා. ජීවිතේ හැම අතින් ම කඩාවැටෙද්දි පිහිටට හිටියෙ මගෙ අම්මා, තාත්තා, සහෝදරයෝ. ඒ වගේ ම නැෂනල් හොස්පිට්ල් එකේ ඩොක්ටර්ස්ලත් මට ජීවත් වෙන්න ලොකු ශක්තියක්, ධෛර්යක් වුණා. ඒ අය මට වැටෙන්න දුන්නෙ නෑ. ඉතින් ඒ හැමෝගෙම පිහිටෙන් මං අද ජීවත් වෙනවා.
HIV නිට්ටාවට ම හොඳ කරන්න බැරි වුණත්, වෙලාවට බෙහෙත් ගන්න හින්දයි ඩොක්ටර්ස්ලගේ උපදෙස් පිළිපදින හින්දයි මගේ ලෙඩේ ගොඩක් දුරට පාලනය කරගන්න පුළුවන් වුණා. ඉතින් හුස්මනම් ගන්නවා මං. හදවතත් ගැහෙනවා.ඒත් ජීවත් වෙනවා කියලා නම් දැනෙන්නෙ නැහැ. ජීවිතේ කොතන හරි වැරදුනා. ඒ වෙනුවෙන් හැමදාම පසුතැවෙනවා. වද වෙනවා.ගෙවෙන හැම මොහොතක් මොහොතක් ගානෙ ම සියදහස් වාරයක් මං මැරි මැරී ඉපදෙනවා.
SOURCE- Rategossip