මෙයාට බොහෝ දෙනෙක් මේ දිනවල කතා කරන්නේ ‘කියා’ කියලයි. කියා මේ ලෝකයේ කෙනෙක් නම් නෙවෙයි. වෙනත් ග‍්‍රහ ලොවකින් ආ තැනැත්තියකි. කියා මේ විදියට මේ ලෝකෙට ඇවිත් සිටින්නෙ ඇයි? සංජය නිර්මාල්ගෙ අධ්‍යක්‍ෂණයෙන් යූ.ඞී. පල්ලියගුරුගේ රචනයෙන් සහ නිෂ්පාදනයෙන් සිරසෙ විකාශය කෙරෙන ‘තුන්තිරි’ නරඹා ඔබට ඒ ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවනි. මේ විදියට ‘කියා’ වූ ඇය පබෝදා සංදීපනී ය.
තුත්තිරි නාට්‍යයට අමතරව රවීන්ද්‍ර විජයරත්න සහ තරංග දිසානායකගේ සූරිය වච්චසා :ෂඔභ* සමග තවත් චරිතයක් රඟපාන පබෝදා හිරු ටී.වී. ඔස්සේ හමුවන්නේ උරුමයක අරගලය සමගයි. එය සනත් අබේසේකරගේ නිර්මාණයකි. මීට අමතරව පෘථිවි මහරජ නාට්‍යයේ ප‍්‍රධාන චරිතයට දෙබස් කවන පබෝදා තුත්තිරි ‘‘කියා’’ වූ විදිය ටිකක් වෙනස් ය. ඒනිසා පබෝදාගෙන් මුලින්ම අපි ඒ ගැන විමසමු.
කියා ඇතුළු තවත් පිිරිසක් වසර දහස් ගණනකට පෙරදි මේ ලෝකෙට එවලා තියෙන්නෙ විවිධ රාජකාරි පවරලයි. හැබැයි එයාලා ආ කාර්යය අමතක වෙලා. මනුස්ස ලෝකයේ ඇති සියලූ දේ රස විඳිමින් සතුටින් ජීවත් වෙනවා. මේ ලෝකයේ වැරදි කරන අය හදන්න තමයි කියා වගේම එයාගෙ යෙහෙළිය දියා මේ ලෝකෙට ඇවිත් සිටින්නෙ. අපි දෙන්නා අපේ ලෝකයේ සෙබළුන් දෙදෙනෙක්. ගැහැණු පිරිමි කියලා ඒ ලෝකෙ වෙනසක් නැහැ. එක එක විදියට වෙස්වෙලාගෙන ඉන්න පුළුවනි.
‘කියා’ ට වෙච්ච දේවල් එහෙම මොනවද?
කියා සාමාන්‍ය තරුණියක ලෙස තමයි මේ ලෝකෙට ඇවිත් සිටින්නෙ. මෙහි සිටින ගැහැණු ළමයි කොහෙද කියලා එයාලා ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා අඩවි ඔස්සේ තොරතුරු දැන ගන්නවා. මෙහි හරිම රසවත් දෙබස් තියෙන්නෙ. සමහර වෙලාවට අපි අපටම හිනාවෙනවා. ඔන්න මේ ලෝකෙ සිටින එක්තරා තරුණියකට ලෝකෙ විනාශයට පෙර කසාදයක් කරගන්න ඕනෑ. දැන් මේ අදහස ප‍්‍රවෘත්ති ඔස්සේ ඉදිරිපත් කරන්නෙ.
‘ලෝක විනාශයට කලින්
විනාශ වෙන්න හදන
තවත් එක් තරුණියක්’ කියලයි.
මේ වගේ හරි අපූරු දෙබස් ඇතුළත්.
කොහොමද කියාට ලැබෙන ප‍්‍රතිචාර?
හරිම අමුතු විදියෙ ප‍්‍රතිචාර ලැබෙන්නෙ. මෙහි මම කතා කරන විදිය හරි අමුතුයිනෙ. ඉතින් සමහර මිනිස්සු මා එක්ක කතා කරන්නෙ ඇත්තටම මම ඒ විදියට ද කතා කරන්නෙ කියලා දැන ගන්නයි.
පබෝදා මේ ආ ගමන දිහා ආපසු හැරී බලද්දි ඇති වන්නෙ මොන වගේ හැඟීමක් ද?
හොඳ වැඩ ටිකක් කළා. ඒ වගේම තවත් හොඳ වැඩ බොහෝමයක් මග හැරියා. අපරාදෙ මම කාලය නිකරුණේ ගෙව්වද කියාත් වෙලාවකට හිතෙනවා. මොකද මුදලට වඩා වටින්නෙ කාලයනෙ. සමහර හොඳ නිර්මාණවලට දායකවීමට බැරිවීම ගැන දුකට වඩා අපරාදෙ කියන හැඟීම තියෙන්නෙ. නමුත් මම බොහෝ වැඩ බදාගෙන කළ කෙනෙක් නෙවෙයි. මට මම විසින්ම දාගත්ත තහංචි එක්ක තමයි සමහර වැඩ අත්හැරියෙ. බබා ලැබුණාට පසුව, අම්මා කෙනෙක් ලෙස මගේ වගකීම වෙනුවෙන් නිතර මා කැප වෙනවා. කොහොමටත් කාන්තාවක ලෙස කැප කිරීම් කරන්නම වෙනවා. ඒක මේ ලෝකයේ ස්වභාවයයි. ජීවිතයේ ඒ ධර්මතාවය දැනගෙන ඊට අනුගතව ජීවත් වෙන්න උත්සාහ ගන්නවා.
එදා පුංචි ඔෂින් ලෙස මුලින්ම ක්ෂේත‍්‍රයට ආ මොහොත ගැන හිතෙන්නෙ කොහොමද?
එයින් ලද ආභාෂය නිසා ජීවිතයට ලොකු වටිනාකමක් ඇති වුණා. අදටත් ඔෂින් ගැන බොහෝ දෙනා කතා කරනවා. ටයි මාමා වගේම අතුල රන්සිරිලාල් මාමා ඇතුළු රූපවාහිනියෙ හඬ කැවීම් අංශයේ බොහෝ දෙනා නිසා බොහෝ දේ ඉගෙන ගත්තා. හඬ කැවීම් කියන්නෙ හැමෝටම කරන්න බැරි දෙයක්. ඒ හඬ කවන චරිතයේ රිද්මය හඳුනා නොගෙන හඬ කැවීම් කළොත්, ඒ චරිතයට පණක් එන්නෙ නැහැ. අපට එදා හිටපු ප‍්‍රවීනයන්ගෙන් බොහෝ දේ ඉගෙන ගන්න ලැබුණත් අද හඬ කැවීම් අංශයට එන බොහෝ දෙනාට ඒ වාසනාව නැති වෙලා.
කොහොමද පබෝදාගෙ විවාහ ජීවිතය?
පුතාට දැන් වයස අවුරුදු 5යි. ඉතින් අපි තුන්දෙනා ජීවිතේ එන ආකාරයට මුහුණ දී, හොඳින් ජීවත් වෙනවා.
විවාහ ජීවිතයයි රංගන ජීවිතයයි ගෙවන්නෙ කොහොමද?
වැඩි ඉඩක් දීලා තියෙන්නෙ ගෙදර ජීවිතයටයි. මහත්තයගෙන් ලොකු සහයෝගයක් එහිදී මට ලැබෙනවා. රංගන ජීවිතයේ දී මගේ අවශ්‍ය වැඩ ටික විතරක් කරලා. ගෙදර ජීවිතයට ඊට වඩා මුල් තැන දෙනවා. මම මහා ලොකුවට බිසි වූ චරිතයක් නෙවෙයි.
විවාහයෙන් පසුව ලැබෙන ආදරේ කොහොමද?
ආදරය කරන කාලයේ දී කොහොමටත් ආදරය වෙනස්නෙ. එතකොට ආදරවන්තයින්ම විතරයි. නමුත් විවාහ ජීවිතයට ආවාම සැලසුම්, අරමුණු ඒ වගේ දේ එක්ක ආදරයට එහා ගිය බැඳීමක් ඇති වෙනවා. ආදරය අඩු ද වැඩි ද කියන දේට වඩා ඉන්පසු ඇතිවන්නෙ ශක්තිමත් බැඳීමක්.
ඔබ ජීවිතේ ගෙවන්න වඩා කැමති කොහොමද?
තමුන් කියන පුද්ගලයා කැමති දේ කරමින් සැහැල්ලූවෙන් සතුටින් ජීවත්වීමට කැමතියි. ඒක එක එක පුද්ගලයාට වෙනස් වන දෙයක්. මම ඉතින් බොහොම සරල සාමාන්‍ය චරිතයක්. පුතා කවදාහරි හොඳින් අධ්‍යාපනය කරලා හොඳ මිනිහෙක් ලෙස සමාජගත වූ දාට අම්මා කෙනෙක් ලෙස මම ඉහළම සතුට ලබාවි.
පසුතලය - California Grill (Galadari)
හැඩගැන්වීම් - මරීනා පෙරේරා
සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ