Skip to main content

ඩුබායි පොලිසිය අපිව කුඩා කණ්ඩායම්වලට වෙන්කර සිරකළා

මගෙයි ලලිත්ගෙයි ලේවල මත්ද්‍රව්‍ය නොතිබුණු බව හෙළිවුණා

- ඩුබායි පොලිසිය අපිට කන්න බොන්න දීලා සැලකුවා

- ඩුබායි රටෙන් පිටුවහල් කළ නදීමාල් කටුනායකදී සී.අයි.ඩියෙන් ප්‍රශ්න කර මුදා හරී

- ඔහු සමග පැමිණි බන්ධනාගාර නිලධාරියා කොළඹ අපරාධ කොට්ඨාසයට

නදීමාල් පෙරේරා ඊයේ කටුනායක ගුවන්තොටුපොළෙන් පිටව ගිය අයුරු.
 
 ඡායාරූපය-කටුනායක ටී.කේ.ජී. කපිල
‘‘හතරපස් දෙනා බැගින් වූ කුඩා කණ්ඩායම්වලට වෙන් කරලා අපි බර්ඩුබායි පොලිසියේ සිර මැදිරිවල වෙන වෙනම රඳවා සිටියා. තාත්තා රඳවලා හිිටියෙ මම හිටපු සිරමැදිරියෙ නෙවෙයි. ඩුබායි පොලිසිය අපට කන්න බොන්න දීල සැලකුවා’’ යැයි කටුනායකදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් වූ ගායන ශිල්පී නදීමාල් පෙරේරා ඊයේ (27 වැනිදා* කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේය.

ඩුබායි පොලිසිය අපේ රුධිරය, මුත්‍රා සාම්පල් චෙක් කළා. අවසන් වාර්තාවලින් මමත්, ලලිත් කුමාරත් මත්ද්‍රව්‍ය භාවිත කර නොතිබූ බව හෙළි වුණා. ඒ නිසා ඩුබායි පොලිසිය අපි එරටින් පිටුවහල් කිරීමට කටයුතු කළා යැයි නදීමාල් පෙරේරා පොලිස් ප්‍රශ්නකිරීම් හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් ගායන ශිල්පී නදීමාල් පෙරේරා පැය 9 ක් තිස්සේ රඳවාගෙන සිදුකළ ප්‍රශ්නකිරීම්වලින් පසුව ඊයේ සවස මුදාහරින ලදි.

නදීමාල් පෙරේරා සමග ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ බන්ධනාගාර නිලධාරි කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර යන අය වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී තිබේ.

මත්ද්‍රව්‍ය භාවිත කළ බවට එල්ල වූ චෝදනා මත මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඩුබායි පොලිසිය භාරයේ පසු වූ ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නිලධාරි ලලිත් කුමාර එරටින් පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (27 වැනිදා* අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් සිය භාරයට ගෙන තිබිණි.

මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා සංවිධානය කර තිබූ සාදයකට සහභාගි වෙමින් සිටියදී මත්ද්‍රව්‍ය භාවිත කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයන් 34 දෙනකු ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් පෙබරවාරි මස 05 වැනිදාය.

අත්අඩංගුවට පත් වූවන් අතර මෙරට පාතාලයේ ගෝර්ඞ්ෆාදර් ලෙස හඳුන්වන මාකඳුරේ මධුෂ්, පාතාල නායක කන්චිපාන ඉම්රාන්, ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා, රංගන ශිල්පී රයන් වැන්රෝවන්, බන්ධනාගාර නිලධාරි ලලිත් කුමාර සහ තවත් පාතාල සාමාජිකයෝ පිරිසක් වූහ.

මෙම සැකකරුවන් සියලූදෙනාගේම රුධිර සහ මුත්‍රා සාම්පල් ලබාගෙන ඒවා පරීක්‍ෂා කිරීමට ඩුබායි පොලිසිය කටයුතු කළ අතර එහි වාර්තා ලැබෙන තුරු සැකකරුවන් ඩුබායි පොලිසියේ රඳවා සිටියහ.

නදීමාල් පෙරේරාගේ සහ ලලිත් කුමාරගේ රුධිර සාම්පල් වාර්තා පසුගිය දිනවල ලැබී තිබූ අතර ඔවුන් දෙදෙනා සාදය පැවැත්වෙන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිතා කර නොසිටි බව තහවුරු වී තිබිණි.

ඒ අනුව මොවුන් දෙදෙනා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමට එරට පොලිසිය කටයුතු කළේය. ඊයේ අලූයම 6.15 ෆ්ලයි ඩුබායි ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම පුද්ගලයන් දෙදෙනා පැමිණි අතර එහිදී ආගමන විගමන නිලධාරීන් ඔවුන් දෙදෙනා සිය භාරයට ගන්නා ලදී.

පසුව ඔවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබිණි.

නදීමාල් පෙරේරාගෙන් සහ ලලිත් කුමාරගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර ඔවුන් සම්බන්ධයෙන් පෙර වැරදි තිබේද යන්න මේ වන විටත් විමර්ශනයක් ද ආරම්භ කරන ලදී. නදීමාල් පෙරේරාට මෙරට පොලිසිවල පෙර වැරදි කිසිවක් නොමැති බව වාර්තාවක් ලැබී ඇති අතර, ඔහු ඊයේ සවස මුදාහැරීමට කටයුතු කර තිබිණි.

එහෙත් ලලිත් කුමාර නමැති බන්ධනාගාර නිලධාරියා සම්බන්ධයෙන් පොලිස් වාර්තා ඊයේ රාත්‍රිය වන තුරුම ලැබී නොතිබුණු නිසා ඔහු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කළේය.

මෙම බන්ධනාගාර නිලධාරියා කඹුරුපිටිය ප්‍රදේශයේ උපත ලැබූ අයෙකි. පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මොහු කුඩා කල සිටම මාකඳුරේ මධුෂ් දන්නා හඳුනන බවයි.

කළුතරදී බන්ධනාගාර බස් රථයකට මධුෂ්ගේ පාතාල කල්ලිය ප්‍රහාර එල්ල කර පුද්ගලයන් හත්දෙනකු ඝාතනය කරද්දී එම බන්ධනාගාරයේ බුද්ධි අංශ නිලධාරියකු ලෙස මොහු සේවය කරමින් සිටි බව පොලිසිය පවසයි. මෙම ප්‍රහාරයේදී ලලිත් කුමාරගේ කිසියම් සහායක් මධුෂ්ගේ කල්ලියට ලැබුණේ දැයි යන්න සැකයක් මේ වන විට මතුව ඇති බව පොලිසිය කියා සිටියි.

මෙම බන්ධනාගාර නිලධාරියා මීට මාස කීපයකට උඩදී හදිසි අනතුරකින් තුවාල ලැබූ අතර, ඔහු මේ වන විට අසනීප නිවාඩු ලබා සිටින අයෙකි.

මොහු මධුෂ්ගේ ඩුබායි සාදය වෙත ගොස් සිටියේද කිහිලිකරු ආධාරයෙන් බව පොලිසිය පවසයි. මෙම බන්ධනාගාර නිලධාරියා මේ වන විට පදිංචිව සිටින්නේ පානදුර ප්‍රදේශයේ ය.
හේමන්ත රන්දුණු සහ කටුනායක ටී.කේ.ජී. කපිල

දිවයින

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.