Skip to main content

හිට්ලර් මරා දමන්න ඉදිරිපත් වූ මරාගෙන මැරෙන බෝම්බකරු

නාට්සි ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ඝාතනය කිරීම සඳහා විවිධ පුද්ගලයින් විසින් උත්සාහයන් කිහිපයක් ම දරනු ලැබුවා. එයින් වඩාත්ම ප්‍රකට වූයේ 1944 ජූලි 20 වනදා ක්ලවුස් ෆොන් ස්ටෝෆන්බර්ග් විසින් එල්ල කරන ලද අසාර්ථක බෝම්බ ප්‍රහාරයයි. එය “වැල්කයිරි මෙහෙයුම” ලෙස හඳුන්වනු ලබනවා.
නමුත් ඊට පෙර ද හිට්ලර් මරා දැමීම සඳහා ජර්මන් යුධ හමුදා නිලධාරීන් විසින් උත්සාහයන් කිහිපයක් ම ගනු ලැබ තිබෙනවා. 1943 මාර්තු මාසයේදී හමුදා කුමන්ත්‍රණයක් මගින් බලය අල්ලා ගැනීමට සැළසුම් සකස් කෙරුණු අතර, එය අසාර්ථක වූ පසු හිට්ලර් මරා දැමීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවකු පවා ඉදිරිපත් වුණා. කෙසේ වෙතත් එම උත්සාහයන් දෙක ම අසාර්ථක වුණා.

හමුදා කුමන්ත්‍රණය – ෆ්ලෑෂ් මෙහෙයුම

මෙම හමුදා කුමන්ත්‍රණය සහ බෝම්බ ප්‍රහාරය යන දෙකම සැලසුම් කරනු ලැබූයේ ජර්මන් යුධ හමුදාවේ මේජර් ජෙනරාල්වරයකු වූ හෙනිංග් ෆොන් ට්‍රෙස්කොව් විසින්. පසු කාළීනව “වැල්කයිරි මෙහෙයුම ” සැලසුම් කිරීමේදීද ඔහු විශාල වැඩ කොටසක් ඉටු කළා.
1943 වන විට දෙවන ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජය වනු ඇතැයි යන සැකය ඇතැම් හමුදා නිලධාරීන් තුළ මතු වෙමින් පැවතුණා. ස්ටාලින්ග්‍රෑඩ් සටනෙන් පරාජය වීමත් සමඟ මෙම අදහස තවත් ව්‍යාප්ත වුණා. මේ අතර හිට්ලර්ගේ ක්‍රියාකලාපය පිළිබඳ ඇතැම් ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් මුල පටන් ම සිටියේ සතුටින් නොවෙයි. හිට්ලර්ට එරෙහි නිලධාරීන් මුල සිටම හමුදාවේ සිටියත් යුධ පරාජයන් සමඟ තවත් ඔවුන් සංඛ්‍යාත්මකවත් ඉහළ ගියා.
හෙනිංග් ෆොන් ට්‍රෙස්කොව් (Bundesarchiv, Bild 146-1976-130-53 / CC-BY-SA 3.0)
ට්‍රෙස්කොව් ඇතුලු පිරිස මුලින්ම හිට්ලර් බලයෙන් පහ කිරීමට සැළසුම් කළේ ට්‍රෙස්කොව් ස්ථානගත කරනු ලැබ සිටි බොරිසොව් නගරයට (වර්තමාන බෙලරූස් රාජ්‍යයට අයත්) පැමිණි අවස්ථාවක හිට්ලර්ව අත් අඩංගුවට ගැනීමෙන්. නමුත් එම සැළසුම සාර්ථක වුණේ නැහැ. හිට්ලර් පැමිණ සිටියේ විශාල එස්. එස්. ආරක්ෂකයින් පිරිසක් සමඟයි.
ඉන්පසුව ට්‍රෙස්කොව් “ෆ්ලෑෂ් මෙහෙයුම ” දියත් කළා. වර්තමාන යුක්‍රේනයේ විනිට්සා නගරයට හිට්ලර් පැමිණි අවස්ථාවක මෙම සැළසුම ක්‍රියාත්මක වුණා. හිට්ලර් ආපසු රස්ටන්බර්ග් කරා යාමට පෙර ස්මොලෙන්ස්ක් නගරයට පැමිණි අවස්ථාවේදී බෝම්බයක් සහිත පාර්සලයක් ඔහු ගමන් කළ ගුවන් යානයට පටවනු ලැබුවා. එය ලබා දෙන ලද්දේ රස්ටන්බර්ග් හි ජර්මන් හමුදා නිලධාරීන් දෙදෙනකුට යවන ත්‍යාගයක් බව සඳහන් කරමින්.
මෙම බෝම්බයේ කාලය සටහන් කර තිබුණේ මින්ස්ක් දක්වා පියාසර කිරීමට ගත වන වේලාවට සමාන ප්‍රමාණයක්. එම නිසා එය මින්ස්ක් නගරයට අසළ ඉහළ අහසේදී පුපුරා යාවි යැයි කුමන්ත්‍රණකරැවන් බලාපොරොත්තු වුණා. බෝම්බය පිපිරී ගිය පුවත ලැබුණ විගස බර්ලිනයේ සිටි කුමන්ත්‍රණකරුවන්ට රහස් සංකේතයකින් ඒ බව දන්වන්නට පවා සූදානම් කර තිබුණා. එම රහස් සංකේත වචනය වූයේ “ෆ්ලෑෂ්” යන්නයි.
කෙසේ නමුත් මේ බෝම්බය පුපුරා ගියේ නැහැ. මේ හේතුව නිසා එම කුමන්ත්‍රණයත් අසාර්ථක වුණා.

මරාගෙන මැරෙන බෝම්බකරු

ෆ්ලෑෂ් මෙහෙයුම අසාර්ථක වී දින කිහිපයකට පසු ට්‍රෙකොව් නැවතත් හිට්ලර් මරා දැමීමට උත්සාහ ගත්තා. මේ අවස්ථාවේ ඔහුගේ සැලසුම ක්‍රියාත්මක කිරීමට මේජර් ජෙනරාල් ෆ්‍රෙයර් ෆොන් ගර්ස්ඩෝර්ෆ් ඉදිරිපත් වුණා.
1905 දී සයිලේසියානු ප්‍රභූ හමුදා පවුලක උපන් ගර්ස්ඩෝර්ෆ් ජර්මන් හමුදාවට බැඳුනේ 1923 දී. ඔහු 1939 දී පෝලන්ත ආක්‍රමණයටත් සම්බන්ධ වුණා. පසුව ප්‍රංශයට එරෙහි සටනට ද සම්බන්ධ වූණු ගර්ස්ඩෝර්ෆ් 1941 දී සෝවියට් දේශය ආක්‍රමණය කළ අවස්ථාවේ මධ්‍යම හමුදා කණ්ඩායමට ද අනුයුක්ත කෙරුණා.
පළමු ලෝක යුද්ධයෙන් මිය ගිය ජර්මානු සෙබලුන් සැමරීමේ විරු සමරු දිනය වූ මාර්තු 21 වනදා හිට්ලර් බර්ලින් නගරයේ සියුගවුස් කෞතුකාගාරය නැරඹීමට නියමිතව තිබුණා. ඔහුව ඝාතනය කිරීමට සැළසුම් සකස් කර තිබුණේ එ් අවස්ථාවේදීයි .
ෆ්‍රෙයර් ෆොන් ගර්ස්ඩෝර්ෆ් (Bundesarchiv, Bild 146-1976-130-51 / Unknown / CC-BY-SA 3.0)
ගර්ස්ඩෝර්ෆ් සිය කෝට් සාක්කු දෙකේ බෝම්බ දෙකක් සඟවාගෙන, හිට්ලර් පැමිණෙන අවස්ථාවේ ඔහු අසලට ගොස් පුපුරවා ගන්නයි සැලසුම්කර තිබුණේ. ඔහුට ට්‍රෙස්කොව් යටතේ සිටි හමුදා නිලධාරියකු වූ ෆේබියන් ෆොන් ෂ්ලැබ්‍රෙන්ඩෝර්ෆ් එම බෝම්බ දෙක ලබා දුන්නා. ඒවා සකස් කර තිබුණේ සක්‍රිය කළ අවස්ථාවේ සිට විනාඩි දහයකින් පුපුරා යන පරිද්දෙන්.
නමුත් බලාපොරොත්තු නොවූ පරිදි හිට්ලර් කෞතුකාගාරයට පැමිණ කඩිනමින්ම ප්‍රදර්ශන භාණ්ඩ නරඹා යළි පිටව ගියා. ඔහු එහි රැඳී සිටියේ විනාඩි අටක කාලයක් පමණයි. මේ නිසා ගර්ස්ඩෝර්ෆ් බලාපොරොත්තු වූ විදියට බෝම්බ ප්‍රහාරය එල්ල කරන්න පුළුවන් වුණේ නැහැ. ඔහු වහාම පොදු වැසිකිළියක් කරා දිවගොස් බෝම්බ නිෂ්ක්‍රීය කරගැනීමට සමත් වුණේ පිපිරීමට සුළු මොහොතක් තිබියදී.
කෙසේ නමුත් මෙම සිද්ධිය පිටතට හෙළි නොවූ අතර ගර්ස්ඩෝර්ෆ් දිගටම හමුදාවේ සේවය කළා. ඊළඟ මාසයේදී කටින් ප්‍රදේශයේ සමූහ මිනී වළක් සොයා ගැනීමත්, එය පරික්ෂා කිරීමත් කරනු ලැබුණේ ද ඔහුගේ හමුදා ඒකකය විසිනුයි. එහි තිබී සෝවියට් බලධාරීන් විසින් ඝාතනය කෙරුණු පෝලන්ත හමුදා නිලධාරීන් 4000 කගේ පමණ සිරුරු කොටස් හමු වුණා.
1944 ජූලි 20 වනදා ක්‍රියාවට නැගුණ වැල්කයිරි මෙහෙයුමට ගර්ස්ඩෝර්ෆ් සුළු වශයෙන් ආධාර කළා. හෙනිංග් ෆොන් ට්‍රෙස්කොව් එම කුමන්ත්‍රණයට සෘජුවම සම්බන්ධ වුණා. කුමන්ත්‍රණය අසාර්ථක වූ පසු ට්‍රෙස්කොව් සිය දිවි තොර කරගත්තා.
යුද්ධයෙන් පසු ගර්ස්ඩෝර්ෆ් නෝර්මන්ඩි සටන පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථයකට දායක වූ අතර පසු කලෙක තම ජීවන අත්දැකීම් පොතක් ලෙස පළ කළා. දෙවැනි ලෝක යුද්ධයෙන් බොහෝ කලකට පසු 1980 ජනවාරි 27 වැනිදා ගර්ස්ඩෝර්ෆ් මිය ගියේ තම 75 වැනි උපන් දිනයට හරියට ම මාස තුනක් තිබියදී යි.
මූලාශ්‍ර
  1. Another plot to kill Hitler foiled, history.com
  1. 6 Assassination Attempts on Adolf Hitler, history.com
කවරයේ රූපය: ඇඩොල්ෆ් හිට්ලර් (Getty)
SOURCE- Raorsinhala.lk 
Writer : Chamara Sumanapala 

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot