Skip to main content

අයියගේ හීනය මම රූ රුජනක් වෙන එකයි



2018-10-26-ent-97

නුවන්දිකා.. අපි මුලින්ම පවුලේ විස්තර සහ ගම්පළාත ගැන කතා කරමු..?
මගේ අම්මයි තාත්තයි දෙන්නම දකුණේ. මම ඉපදුනේ බෙලිඅත්තෙ. මම පාසල් කිහිපයකින්ම අධ්‍යාපනය ලැබුවා. මට ඉන්නෙ නංගි කෙනෙක් විතරයි. මගේ අයියා අවුරුදු දහයකට කලින් රිය අනතුරකින් මියගියා.

පුංචි කාලේ කවුරු වෙන්නද හීන දැක්කෙ..?2018-10-26-ent-98
මම පුංචි කාලේ ඉඳලාම ගණිත විෂයට හරිම දක්ෂයි. ඒ නිසාම ගණිතඥවරියක් වෙන්න හීන දැක්කා. මම සාමාන්‍ය පෙළ පන්තියෙදී වුණත් හැමදාම ගණිත විෂයට ලකුණු අනූනවයයි, සීයයි. උසස් පෙළටත් භෞතික විද්‍යාවට ඉහළම ලකුණු ගත්තා. හැබැයි ගණිතඥවරියක් වෙන්න වගේම වෛද්‍යවරියක් වෙන හීනයකුත් මට තිබුණා.

විශ්වවිද්‍යාල ජීවිතෙත් අමතක වෙන්න විදිහක් නැහැ..?
ඔව්.. කවදාවත් අමතක වෙන්නෙ නැහැ. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තමයි ඉගෙන ගත්තෙ. කැම්පස් ජීවිතෙත් හරිම සුන්දරයි. මම මගේ යාළුවෝ එක්ක හරිම සුහදව වැඩ කළා. මගේ කැම්පස් ජීවිතේ අවසාන කාලෙදී තමයි මගේ සහෝදරයා නැතිවුණේ. මාව බලන්න කැම්පස් ඇවිත් ගෙදර යද්දී තමයි අයියා නැතිවුණේ. ඒ නැතිවීම මගේ ජීවිතේ ලොකු කම්පනයක් ඇතිකළා. මගේ නිවුන් සහෝදරයෙක් තරමටම මම ඔහුට ආදරය කළා. පුංචි කාලේ ඉඳන්ම මගේ හුස්ම ටික වැටුණේ එයත් එක්කමයි. සෙල්ලම් කරන්න යන්නෙ, ඉගෙනගන්නෙ, ගෙදරදී දඟ වැඩ කරන්නෙ, අපි දඬුවම් කරන්නෙ, හැමදෙයක්ම කළේ එකට. අයියා නැතිවෙද්දී මගේ ජීවිතේ ගොඩක් දේවල් නැතිවුණා කියලයි මම හිතුවේ.

සහෝදරයාගේ හීනය වෙලා තිබුණේ ඔබ වෛද්‍යවරියක් වෙනවා දකින්න නේද..?
ඔව්.. මම වෛද්‍යවරියක් වෙනවා දකින්න අයියා ආසාවෙන් හිටියේ. මගේ තාත්තා හැමවෙලේම මට කිව්වේ “උඹලා හොඳ මිනිස්සු වෙන්න ඕනෙ.. උඹලා දොස්තරවරු ඉංජිනේරුවරු වෙන්න ඕනෙ නැහැ. හැබැයි මනුස්සකම් තියෙන කෙනෙක් වෙන්න” කියලයි. ඉතින් වෛද්‍යවරියක් වෙන හීනය දැක්කෙ මගේ අයියා. ඒ නිසාම මම කොහොමහරි හිත හදාගෙන පාඩම් කළා. අයියා නැතිවීම දරාගැනීමත් එක්ක මට සමාජයේ ඕනෑම අභියෝගයකට මුහුණදීමේ ආත්මශක්තිය ලැබුණා. එතැනින් එහාට මගේ ජීවිතේ නැතිවෙන්න දෙයක් තිබුණේ නැහැ. මම කවදාවත් මිල මුදල්, වත්කම්වලට තැනක් දෙන කෙනෙක් නෙවෙයි. හැබැයි මම හැමවෙලේම ස්ථාවර වෙන්න හිතුවා. අපේ වයසේ සමහරු වගේ ජොලිකරන්න මට ඕනවුණේ නැහැ. මම හැමවෙලේම උත්සාහ කළේ මම ස්ථාවරව ඉඳලා තව කෙනෙක්ට උදව් කරන්නයි. කැම්පස් එකේ මගේ යාළුවෝ ගොඩක් හිටියට මම පාඩම් කළේ තනියමයි. අනිත් අයට මම දන්න දේවල් කියලා දුන්නා. කැම්පස් එකේදී මම කිසිම විෂයක් අසමත් වුණේ නැහැ. අවසන් විභාගය ළංවෙද්දී මට ඩෙංගු රක්තපාත රෝගය වැළඳිලා හොඳටම අමාරු වුණා. ඒ වෙලාවෙත් මම මානසිකව වැටුණා. නමුත් එතැනදීත් සතියක් ඇතුළත ඇඳෙන් නැඟිටලා තමයි මම විභාගය ලිව්වේ. මගේ මුල්ම පත්වීම ලැබුණේ මාතලේට. ඊටපස්සෙ දුෂ්කර සේවයට මහියංගණයට ගිහින් අවුරුද්දක් සේවය කළා. අද වෙද්දී නවගමුව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරියක් විදිහට කටයුතු කරනවා.

වෛද්‍යවරියක් රූ රුජනක් වුණේ කොහොමද..?
අවුරුදු දෙකක කාලයක ඉඳලා මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. පුංචි කාලේ ඉඳලා මම ලස්සනට ඉන්නවට වැඩියෙන්ම ආසා වුණේ මගේ අයියා. මගේ අයියා හරිම ලස්සනට හිටියා. ඒ කාලේ මට ඒ තරම් පෙනුමක් නැහැ. ඉස්කෝලෙදී අපි හැමවෙලේම සෙල්ලම් කර කර තමයි හිටියෙ. එහෙමත් නැත්නම් තූර්ය වාදක කණ්ඩායමේ හිටියා. ඉතින් ඒ නිසා මගේ පැහැය ඒ කාලේ ටිකක් අඩුයි. උසස් පෙළ කරන කාලෙදී හිත තිබුණේ ඉගෙනීම් කටයුතුවලටයි. ඒ නිසා ටිකෙන් ටික මගේ සම පැහැපත් වුණා. හැබැයි කාට අවලස්සන වුණත් මගේ සහෝදරයාට මම හරිම ලස්සනයි. එයාගේ ෆෝන් එකෙන් මගේ එක එක ෆොටෝ ගත්තා. ඉතින් ඒ කාලේ එයා අම්මගෙන් “නංගි ලෝක රූ රුජන තරගයකට ගියොත් දිනයි නේද?” කියලත් අහනවා. ඒක මගේ අයියගේ හීනයක්. ඉතින් පස්සෙ මමත් ආසා වුණා. මම සින්දු කිහිපයක් කළා. සින්දු කිහිපයක්ම ලිව්වා. මගේ මියුසික් වීඩියෝ තුනක් ප්‍රචාරය වුණා. ඒවායින් ලැබෙන හැම මුදලක්ම මම පිළිකා රෝගීන් වෙනුවෙන් උදව් කරන්න යෙදෙව්වා. ඉතින් අද මම මගේ අයියගේ හීන දෙකක්ම හැබෑ කළා.

රටවල් අනූහතක් පරාජය කරලා ‘MS British Empire 2018’ කිරුළ නුවන්දිකා හිමිකරගත්තා. මොකද හිතෙන්නෙ ඒ ගැන..?
අයියගේ හීනය මම රූ රුජනක් වෙන එකයි. හැබැයි මගේ හීනය වුණේ වෙන දෙයක්. මම ආගමට දහමට ළැදි කෙනෙක්. සමහරු මගෙන් ඇහුවා එහෙම කෙනෙක්ට මෙහෙම සුද්දන්ගෙ ඔටුන්නක් දාගන්න හිතුණේ ඇයි කියලා. මේක බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය රෑ රුජන කියලා හිතද්දී සමහරු එහෙම කියනවා. මේ තරගයට පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් අනූහතක් සහභාගි වුණා. ඒකට එංගලන්තයත් එක්වුණා. ඒ නිසා එංගලන්තයේ තරගකාරිය පරදවලා තමයි අද මම මේ කිරුළ දිනාගත්තෙ. මම ඉපදුනේ පෙබරවාරි පස්වැනිදා. නිදහස් දිනයට පහුවදා. ඉතින් නිදහස් දිනය ගැන පුංචි කාලේ ඉඳලාම අපි අහනවා. ඒ කාලේ අපේ තාත්තා දේශාභිමානී කතා කියනවා. මගේ තාත්තා නැෂනල් එක විතරක් අඳින කෙනෙක්. ඒ තරම් ඔහු මේ දේශයට ආදරෙයි. සිංහලකමට ගෞරව කරන කෙනෙක්. අපේ ගෙදර නිතර ඇහුණේ ජාතිකාභිමානී කතා, වීරවරු ගැන කතා, ඉතිහාසය ගැන කතා. ඒ කාලේ අපේ කොඩිය පාගපු සුද්දෝ ගැන තාත්තා කිව්වා. ඉතින් මම හැමවෙලේම හිතුවේ ඒ සුද්දන්ගේ කොඩියට වඩා මගේ රටේ කොඩිය ඉහළට ඔසවන්නෙ කොහොමද කියලා. MS British Empire කිරුළ දිනාගැනීමෙන් පසු මගේ කොඩිය එදා ඔස්ට්‍රේලියාවේ ඉහළට එසවුණා. ඒ ගැන මට හරි සතුටුයි. මගේ හීනය එදා හැබෑවුණා. එදා මම ඔස්ට්‍රේලියාවේ පර්ත්වල හිටියෙ. බ්‍රිතාන්‍ය විසින් පවත්වන තරගයකදී ඔවුන්වත් අභිබවා එදා මම කිරුළ දිනාගත්තා. එයයි එදා මම ලබපු ලොකුම ජයග්‍රහණය වුණේ.

වෛද්‍යවරියක්, රූ රුජනක් වුණු ඔබ ගුවන් නියමුවරියක් වෙන්නත් උත්සාහ ගන්නවා නේද..?
ඔව්.. මම මේ වෙද්දී ශිෂ්‍ය ගුවන් නියමුවෙක් විදිහට බලපත්‍රය ලබාගෙන තියෙනවා. පෞද්ගලික ගුවන්යානා බලපත්‍රය ලබාගන්නත් මම මහන්සි වෙනවා. ඊට අමතරව මම බත්තරමුල්ල Waters edge හෝටල් සංකීර්ණයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකත්වය දරනවා. ඒ වගේම බස්නාහිර පළාතේ %යහපත් සෞඛ්‍ය රටාවක්^ සන්නාම නාම තානාපතිනිය ලෙස කටයුතු කරනවා.

ඒ කියන්නෙ නුවන්දිකා අයියගේ හීන වගේම ඔයාගේ හීනයත් සැබෑකරගත්තා. එහෙම නේද..?
ඔව්.. මම අයියගේ හීන දෙකම හැබෑකළා. මගේ සහෝදරයා කොහේහරි ඉඳගෙන මම දිහා බලාගෙන ඉන්නවා කියලා මට හැමවෙලේම හිතෙනවා.

Text - Jayamali / Pic - Sumudu

2018-10-26-ent-96 

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot