Skip to main content

එවරස්ට් නැග හෝරාවකින් අවසන් ගමන් ගිය පියෙකුගේ සංවේදී කතාව

ලොව බයානකම කඳු තරණය වන එවරස්ට් තරණයේදී අත්වූ අවාසනාවන්ත ඉරණමක තවත් එක් කඳුළු කතාවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අයර්ලන්ත ජාතික සීමස් නමැති 39 හැවිරිදි පුද්ගලයෙක්.
 
කඳු නගින්නෙකු වූ සීමස් සිය බිරිඳට කෙටි පණිවුඩයක් තබමින් සඳහන් කර ඇත්තේ තමන් එය සිදුකළ බවයි.
 
ඒ වනවිටත් කුළුඳුල් දරු උපතට සූදානමින් සිටි ඔහුගේ බිරිඳ සිය සැමියාගෙන් ලැබෙන අවසන් පණිවුඩය එය බවට කිසිවිටෙක නොසිතන්න ඇති.
 

එහෙත් අවාසනාව එම පණිවුඩය යවා හෝරාවකින් පසුව සීමස් සොයා එන්නේ කිසිවෙකු නොසිතූ ලෙසයි.
 
ලෝක ප්‍රසිද්ධ එවරස්ට් කඳු මුදුනේ පිහිටා ඇති බැල්කනි ප්‍රදේශයේ සිට අඩි 27 000ක් පමණ පහළට ඇදවැටීමෙන් සීමස් සිය ජීවිතයෙන් සමුගෙන යනවා.
 
මේ අතර විදෙස් මාධ්‍යය වාර්තාවලට අනුව පසුගිය දින 9කදී හිමාල තරණයට ගිය පුද්ගලයින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
මෙලෙස ජීවිතක්ෂයට පත්ව හිමාල කඳු මුදුනට ගමන් ගන්න මාර්ගය අසල තිබු පුද්ගලයෙකුගේ මල සිරුරක් කැනේඩියානු ජාතිකයෙකු විසින් සමාජ මාධ්‍යට මුදාහැර තිබෙනවා.
 
එම ඡායාරූපය වෙත ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා.
 
පවතින දැඩි සීතල නිසා එම පුද්ගලයාගේ මල සිරුරට කිසිදු වෙනසක් වී නොමැති බවයි වාර්තා වන්නේ.
 
එවරස්ට් මුදුනේ සිටයි ඔහු මෙම ඡායාරූපය ගෙන ඇත්තේ. කෙසේ වෙතත් ඔහු මම ඡායාරූපය සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇත්තේ කඳු තරණ‍යෙන් පසු නැවත සිය නිවෙස වන කැනඩාවේ Ottawa නුවරට පැමිණීමෙන් පසුවයි.
 
ඔහු මෙම ඡායාරූපය සමාජ ජාල මාධ්‍යට මුදා හැර ප්‍රකාශ කර ඇත්තේ එවරස්ට් කන්ද තරණය කිරීම ඉතා අවධානම් ක්‍රියාවක් බවයි.
 
දැඩි මහන්සිය, රැගෙන ගිය ඔක්සිජන් ප්‍රමාණවත් නොවීම, කන්ද මුදුනට ලඟාවීම සදහා දිගු වෙලාවක් පෝලිමේ රැඳී සිටීමට සිදුවීම මෙලස පුද්ගලයින් විශාල පිරිසක් මිය යාමට හේතු වී තිබෙනවා.
 
මෙලෙස මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු සොයා නේපාල හමුදාව සෝදිසි මෙහෙයුම් දියත් කොට ඇති අතර ඔවුන්ට එහිදී කඳු නගින්නන් 4 කුගේ මළ සිරුරු සොයාගන්නට හැකියාව ලැබී තිබෙනවා.
 

මෙලෙස මිය ගොස් ඇත්තේ ඕස්ට්‍රේලියානු, ඔස්ට්‍රියානු , ඇමරිකානු, එංගලන්ත, අයර්ලන්ත සහ ඉන්දියානු ජාතිකයන් 11 බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.