ශානිකා... ඔයා විවාහ වුණේ කොයි කාලෙදීද...?
මම විවාහ වුණේ 2005 අවුරුද්දේදී. එතකොට මගේ වයස අවුරුදු විසිතුනයි. (එහෙම කිව්වහම ඉතින් එකපාරටම දැන් ශානිකාගේ වයස හදලා බලන්න එපා. කොච්චර වයසට ගියත් ශානිකා තාමත් බොහෝ දෙනෙක්ට “බේබි ශානිකා” තමයි. ඒකට හොඳම සාක්ෂිය තමයි ශානිකාගේ ගෙදර යද්දී ගේ තියන තැන අහන්න නතර කරපු කීපදෙනක්ම අපට සුහදශීලීව “ආ... බේබි ශානිකාගේ ගෙදරද” කියලා අහපු එකයි.
විවාහවෙලත් ඔය සෙල්ලක්කාර ගති අඩුවුණේ නැහැනේ....?
කුළුදුලේ දරුවා ඉද්දී ශානිකා උඩපැන්නා දැඟළුවා ඇති තරමට... නේද...? අනේ ඔව්නේ... විවාහ වුණාට පස්සේ අපි ඩුබායි ටුවර් එකක් ගියා. එතකොට මම දැනගෙන හිටියේ නෑ දරුවෙක් ලැබෙන්න ඉන්නවායි කියලා. ඩුබායි ගිහින් එහේ “වයිවඩී” කියන තැනට ගිහින් පූල් එකක තියෙන හැම ගේම් එකක්ම කළා. උඩ ඉඳන් වතුරට පනිනවා. ඒ හැම ගේම් එකක්ම කළා.
ඩුබායි ගිහින් ලංකාවට ඇවිත් දැනගත්තේ සුභ ආරංචිය...?
ඔව්... ඩුබායි ගිහින් ආවට පස්සේ මට ටිකක් වෙනසක් දැනිලා ගිහින් චෙක් කළා. එතකොට තමයි දැනගත්තේ බබාට මාස දෙකහමාරක් කියලා. ඒ වෙලාවෙම ස්කෑන් කරලා බැලුවා. බයටම. ඩොක්ටර් කිව්වා කිසි ප්‍රශ්නයක් නෑ. හොඳින් ඉන්නවා කියලා. ඊට පස්සේ මම මගේ සුපුරුදු වැඩ ඒ විදිහටම කළා. ඒ කාලේ සමහර අය දන්නෙත් නෑ මට බබෙක් ලැබෙන්න කියලා.
කුළුදුල් දරුවා ලැබෙද්දී මොනවගේ කෑම කන්නද ශානිකා ආසා වුණේ?
ලොකු දුව හම්බවෙද්දී දොළදුකක් කියලා කන්න ආසා කෑමක් එහෙම ආවේ නෑ. හැබැයි දුව කුසට ඇවිත් මාස දෙකාමාරත් විතර වෙනකම්ම මම නොදැන ගෑස්ට්‍රැයිටීස්වලට බෙහෙත් බිව්වා. ඒ කාලේ බෙහෙත් අහුරු පිටින් බිව්වේ මම දැනගෙන හිටියේ නෑ දරුවෙක් කියලා. ඩොක්ටර් බෙහෙත් දුන්නේ ගෑස්ට්‍රැයිටීස්වලට.
දුව ලැබෙන්න කලිනුත් ශානිකා වේදිකාවේ සින්දු කිව්ව ගායිකාවක්...? එහෙම නේද...?
ඔව්... දුවට දින දීලා තිබුණේ පෙබරවාරි 04 වෙනිදා (2006) ඉතින් 2005 දෙසැම්බර් 31 වෙනිදා රෑ හැම ෂෝ එකකටම ගියා. ගිහින් පළවෙනිදා උදේම මම වැඩකට ගිහින් ඇවිත් අම්මලාගේ ගෙදරින් කෑම කාලා ගෙදරට එද්දී මට ඇවිදගන්න බෑ. ඊට පස්සේ අම්මා මාව ඩොක්ටර් ගාවට එක්කගෙන ගියා. දවස් තුනක් ඉස්පිරිතාලේ හිටියා. හැමදෙයක්ම නෝමල්.
එතකොට දරුවා ඉපදුනේ කවදාද...?
පෙරවාරි 03 වෙනිදා මගේ water bagඑක කැඩුණා. ඊට පහුවෙනිදා උදේ මාව ලේබර් රූම් එකට ගත්තා. ලේබර් රූම් එක තරම් ලස්සන තැනක් මම ජීවිතේට දැක්කේ නෑ. ඒ අත්දැකීම හරි වෙනස්. මට මගේ වේදනාව අමතකයි. මගේ වම් අතපැත්තේ එක්කෙනා හයියෙන් කෑ ගහනවා. දකුණු පැත්තේ එක්කෙනාගේ වැකුම් කරලා දරුවා ගන්නවා. මම නිකං ෆිල්ම් එකක් බලනවා වගේ. මේ පැත්තට ඔළුව හරවනවා. එහි පැත්තට ඔළුව හරවනවා. නර්ස්ලා බැරිම තැන මගේ වටේම කර්ටන් දැම්මා. ඩොක්ටර් මාව ආයේ බලලා සීසර් එකට ගත්තා.
ආසාවෙන් හිටියේ දුවෙකුටද...?
ඔව්... මම මුල ඉඳන්ම කිව්වේ මට ලැබෙන්නේ දුවෙක් කියලමයි. හැබැයි ස්කෑන් කරලා බලද්දී ඩොක්ටර් මට කිව්වේ පුතෙක් කියලයි. මම කිව්වා නෑ... නෑ... දුවෙක් කියලමයි. දුව ලැබිච්ච ගමන් ඩොක්ටර් කිව්වේ “අම්මෝ... මගේ රස්සාව බේරුණා” කියලයි.
දුව ඉපදුණාම මොන වගේද...?
දුව ඉපදුණ ගමන් ඒ දැනිච්ච හැඟීම ගැන කියන්න අදටත් මට වචන නෑ. ඒතරමට මට සතුටක් දැණුනා. ඒ වෙලාවේ තමයි මම දැනගත්තේ අම්මා කෙනෙක් වෙනඑක මොනතරම් අමාරු දෙයක්ද කියලා. මගේ අම්මා මාව පරිස්සම් කරපු හැටි නිකං ෆිල්ම් එකක් වගේ මට ඒ වෙලාවේ පෙනුණා. දුව ඉපදෙද්දී එයාගේ බර කිලෝ දෙකයි හයසීයක් තිබ්බා. හැබැයි මගේ water bagඑක කැඩුණු වෙලාවේදී දුවට ඒ වතුර පෙවිලා තිබුණා. ඒකෙන් එයාගේ අල්ල නිල්වෙලා දුවව වෙනම තිබ්බා. මම උඩක ඉඳන් අමාරුවෙන් පහළට ඇවිත් බබාට කිරි දුන්නා.
එතකොට දුවට පළවෙනි ඉන්ජක්ෂන් එක ගහපු වෙලාවේ ඇයි ශානිකා අර තරම් කලබල වුණේ...?
කොහොමද ඒක ඔයාලා දන්නේ...? ඔව් අනේ ඒක ඇත්ත... අම්මා කියන හැඟීම මට ඒ වෙලාවේ තමයි මුලින්ම දැනුණේ. දුවට පළවෙනි ඉන්ජක්ෂන් එක ගහන්න අරගෙන ගියා. ඒක ඇතුළේ දෝංකාරය දෙනවා. එකපාරටම දුව කෑ ගහලා අඬනවා ඇහුණා. ඒ වෙලාවේ මගේ ඇඟත් එක්ක පණ නැතිවෙලා ගියා. ඒ වෙලාවේ තමයි මට දැණුනේ ඇඟ පණ නැතිවෙනවා කියන්නේ මෙන්න මේකටයි කියලා. මට ඇදෙන් යාගන්නවත් බෑ... ඒත්... මම යන්න හැඳුවා. නර්ස් කෙනෙක් ළඟට ඇවිත් තමයි මට කිව්වේ “බයවෙන්න එපා. දුවට පළවෙනි ඉන්ජක්ෂන් එක විද්දා කියලා...”
දුව මොන වගේද... ?
පොඩි කාලේ ඉඳන් දුව කිසිම වදයක් නොදීපු හොඳ දරුවෙක්. එයාට ලොකු දැඟලිල්ලක් නෑ. ඉගෙනීම පැත්තෙන් වුණත් එයාගේ ලොකු කරදරයක් මට නෑ... එයා මල්ලියෙකුට නංගියෙකුටයි හොඳ අක්කා කෙනෙක්. එයාගෙන් කිසිම කරදරයක් නෑ. කිසිම දේකට එයාගේ පස්සෙන් ඉඳලා මේක කරන්න, මේක කරන්න එපා කිය කියා කියන්න ඕනේ නෑ. හැබැයි එක වෙලාවකට අනිත් පොඩි දෙන්නට වඩා හරි හුරතල් වැඩත් මෙයා කරනවා.
ලොකු දුවයි අනිත් දරු දෙන්නයි අතරේ තියෙන බැඳීම කොහොමද...?
එයා පොඩි දෙන්නට හරි ආදරෙයි. වෙලාවකට එයා පොඩි දෙන්නට අම්මා කෙනෙක් වගෙයි. ලොකු දුවට අනිත් දෙන්නා පුදුමාකාර වදයක් දෙන්නේ. මෙයා බයයි අනිත් දෙන්නා දන්නවා. සමහර වෙලාවට දෙන්නා ලොකු දුවව වත්ත වටේ එළවනවා. මෙයත් චූටි ගේ වටේම කෑ ගගහා දුවනවා. පොඩි දෙන්නට ආසයි මෙයාව අවුස්සන්න. හැබැයි පොඩි දෙන්නට මෙයා හරි ආදරෙයි. ඒ දෙන්නත් එහෙම තමයි.
වගකීම් දරන්න පුළුවන්ද...?
හොඳට පුළුවන්. සමහරදාට අපි ෂෝවලට ගිහින් පාන්දර ආවාම මෙයාලට ඉස්කෝලේ නැති දවස් නම් “පුතා අපි චුට්ටක් නිදියනවා. ඔයා පොඩ්ඩක් නංගියි, මල්ලීයි බලාගන්න කියද්දී මෙයා අපිට සද්දයක්වත් ඇහෙන්න දෙන්නේ නැතිව ඒ දෙන්නව හොඳට බලාගන්නවා. ඊළඟට මේ දෙන්නාට උදේට ඔය මොනවා හරි කන්න දීලා ඉස්සර ඒ දෙන්නා කැමැති වැඩසටහන් බලන්න ටී.වී. එක දාලා දීලා හොඳට බලාගන්නවා. අපි ඇහැරිලා ඉද්දී නම් තුන්දෙනා සමහරදාට උදේ රිමෝට් එකට රණ්ඩු. ඒත් ඒ වගේ වෙලාවට මෙයා නිශ්ශබ්දයි. ඒ වෙලාවට මෙයා කරන්නේ නංගියි, මල්ලීයි කැමැති දේවල් විතරයි. ඇත්තටම දුව මට ලොකු හයියක්. එයා හරි ආසයි වගකීම් දරන්න.
දුවටත් සින්දු කියන්න පුළුවන් නේද?
ඔව්... එයාට හොඳට සින්දු කියන්න පුළුවන්. ප්‍රසංග වේදිකාවෙනම් එයා සින්දු කියලා නෑ. ඇත්තටම මම එහෙම ප්‍රසංග වේදිකාවෙ සින්දු කියවන්න එහෙම ආස නෑ. ඉස්කෝලෙ පද්‍ය ගායනාවලින් ගිහින් පළවෙනි තැන තේරිලා ඉන්නෙ. පුතාටත් සින්දු කියන්න පුළුවන්. සමහරදාට මට වඩා හොඳට ලොකු දුව සින්දු කියනවා. එයා හරි හුරතල්. නිකං හරි අපි මොකක්හරි දේකදී අනිත් දෙන්නගෙ පැත්ත ගත්තොත් දුක කියලා අඬලා ඉවරයි. එයා බලාපොරොත්තු වෙන්නෙ අපි එයා තනිවම හිටපු කාලෙ දුන්නු ආදරේමයි.
ලොකු දුව වැඩිපුරම ආස මොනවටද?
එයා අනවශ්‍ය දේවල් ඉල්ලන්නෙත් නෑ. අනික හැම බඩුවක්ම හරිම පරිස්සමින් පාවිච්චි කරන්නෙ. එයාට පොඩි මේක්අප් බොක්ස් එකක් මම අවුරුද්දට ගෙනත් දුන්නා. අදටත් එයා හරි ලස්සනට ඒක පරිස්සම් කරනවා. අද අඳින ඇඳුම පවා එයා මගෙන් අහලා තමයි අඳින්නෙ. එයාට දැන් අවුරුදු එකොළහ වුණාට අවුරුදු පහක හයක දරුවන්ගෙ හුරතල් ගති තමයි එයා ළඟ තියෙන්නෙ. මෙයා වැඩිපුර කැමති ශ්‍රියා ගෝෂාල්ටයි. එයාගේ සින්දු ඩවුන්ලොඩ් කරගෙන පින්තූර හොයාගෙන ඒවා තමයි එයා කැමති. මම ඇඳුමක් ඇන්දත් එයා අඩුපාඩු හොයලා කියනවා. ලස්සනයිද නැද්ද කියලා එහෙම කියනවා. ඒ දේවල් හොයලා බලනවා. එයාට තැන දීලා වැඩක් කරද්දී එයා අපිට උපරිමයෙන්ම ඒ වැඩේට සහයෝගය දෙනවා. මල්ලි හම්බවුණ දවස්වල එයා තමයි මල්ලිගෙ කක්කි ගෑවුණු පුළුන් ටික පවා අයින් කරන්නෙ. එතකොට මෙයාට අවුරුදු තුනහමාරක් විතර ඇති. එයා ඇත්තටම හරිම ආදරණීය දරුවෙක්. එයා මේ මල්ලියටයි නංගියටයි අම්මෙක් වගෙයි.
Text – Dishani / Pic - Sumudu