ශ්‍රී ලාංකික ළමා සාහිත්‍යයේ හැඩතල සකසන්නට දායක වෙමින් ළමා ලොවේ නොමැකෙන සටහන් තැබූ චිත්‍ර ශිල්පිනියක් සහ ලේඛිකාවක් වන සිබිල් වෙත්තසිංහයන්‍ගේ අනූ වැනි ජන්ම දිනය යෙදී ඇත්‍තේ ඔක්‍තෝබර් මස 31 වැනිදාය. ඒ වෙනුවෙන් ඔක්තෝබර් මස 31 වැනිදා සිට නොවැම්බර් මස 02 වැනිදා දක්වා ඇගේ නවතම චිත්‍ර නිර්මාණයන් රැගත් ප්‍රදර්ශනයක් ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වීමට ඇගේ ප්‍රධානතම පොත් ප්‍රකාශක සමාගම වන ආදිත් ප්‍රකාශක සමාගම කටයුතු කර ඇති අතර, මෙහිදී පුදුම රිදී ගස සහ සිද්ධාර්ථ කුමාරයාගේ කතාවේ චිත්‍රද ඉදිරිපත් කෙරේ.
1928 වසරේ උපත ලැබූ ඇය සිය වසර අසූ නවයෙන් 70ක්ම සාහිත්‍ය ලෝකය වෙනුවෙන් කැප කළ ලේඛිකාවක් වන අතර, විස්මිත අපූර්ව ලෝකයේ මායාවන් සහ එදිනෙදා ජීවිතයේ සැබෑවත් එම චිත්‍රවල සංකලනයය වී තිබීම ඇගේ සුවිශේෂී අනන්‍යතාවයයි.
‘ආයුබෝ වේවා, අනූවට පා තබන සිබිල්’ යනුවෙන් නම්කර ඇති මෙම ප්‍රදර්ශනය, ඔක්‍තෝබර් මස 31 වැනිදා සවස 4.30 සිට ජනතාවට විවෘත වන අතර, සෙසු දින දෙකෙහිදී උදෑසන 10 සිට සවස 7.30 වනතුරු විවෘත කර තිබේ.
තම හිත තුළ සිටින ළමයා ජීවත් කිරීම වෙනුවෙන් ළමයින් වෙනුවෙන් පොත් නිර්මාණකරණයේ යෙදෙන ඇය, ළමයින් පස්‍දෙනෙකුගෙන් යුත් පවුලේ තෙවැන්නියයි. ඇයට සොයුරියන් දෙදෙනෙකු සහ සොයුරන් දෙදෙනකුද සිටියි.
සව්‍දේරිස් ද සිල්වා සහ ජොස්ලින් ද සිල්වාට දාව උපන් සිබිල් වෙත්තසිංහ, වයස අවුරුදු හතරේදී ගමේ පාසල වූ ගිංතොට විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ආරම්භ කළ නමුත් ඇගේ දෙමාපියන් තම දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම සදහා කොළඹ පදිංචියට පැමිණීම නිසා ගමේ ජීවත් වූයේ ඉතා කෙටි කලකි. එහෙත් ගමේ ජීවත් වන සමයේ ඉතා අපූරු චරිත ගැනත්, සුන්දර පරිසරය ගැනත් අපූරු මතකයන් ගොන්නකින් තම සිත පුරවාගත් ඇය, අදටත් ඇගේ නිර්මාණයන්ට ජීවය දෙන්‍නේ මේ සොදුරු මතකයන් ඔස්‍සේය.
කොළඹ ඉංග්‍රීසි අධ්‍යාපනය පිණිස බම්බලපිටියේ ශුද්ධ වූ කන්‍යාරාමයට ඇතුළත් වූ ඇය, මුල් කාලයේ තරමක් ලැජ්ජාශීලී සිසුවියක ලෙස හැසිරුණි. නමුත් ආගම විෂය කියාදීමට කන්‍යා සොයුරියන් කියාදුන් චිත්‍රවල අපූරුවත්වය ගැනත්, පාසැලේ පල්ලියේ අපූරු පෙනුම ගැනත් වැඩි අවධානයකින් පසුවූවාය.
කෙසේවෙතත් පාසල් කාලයේ පටන්ම නිතර සිතුවම්කරණයේ නියැලුණු ඇය, පාසලින් නික්මුණු පසු ඇගේ මවගේ උවමනාව මත ගෘහ නිර්මාණ ශිල්පිනියක් වීමට අධ්‍යාපනය ලැබුවාය.
මේ අතර ලංකා කලා සංගමයේ ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබූ ඇගේ සිතුවමක් දැක ‘නව මග’ අතිරේක කියවීම් පොත් පෙළෙහි සම්පාදක එච්.ඩී සුගතපාල මහතාගේ අවධානය ඇය කෙරේ යොමු විය. නව මග 5 ශ්‍රේණිය සඳහා සිතුවම්කරණයට ඇයට අවස්ථාව සැලසෙන්‍නේ මේ අනුවයි.
ඒ අනුව තවත් අතිරේක කියවීම් පොත් සඳහා සිතුවම්කරණයට අවස්ථාව ලබන සිබිල් වෙත්තසිංහයන්ට තමන් ඇඳි English with a smile කෘතියත්,1959දී වජිරාරාමයේ වැඩ විසූ නාරද ස්වාමීන් වහන්‍සේගේ ඉල්ලීම මත සිතුවම් ඇඳි සදහම් මග කෘති ද්විත්වයත් තවමත් මතකයේ ඇත. ඩෝනා පෙට්‍රෝනි නම් ඉතාලි ජාතික චිත්‍ර ශිල්පිනියගේ සිතුවම්කරණය දෙස බලා සිටීමට අවස්ථාව ලද ඈ වෙතින් ඒ අනුව ගෘහ නිර්මාණ ශිල්පය ඉගෙන ගැනීම අවසන් විය. ඇය තමන්‍ගේ රුව සිතුවමට නැගීමට ගොස් කන්නාඩිය බිම වැටී එම කොටස් හරහා තමා පෙනෙන ආකාරයෙන් කළ සිත්තම ලංකා කලා සංගමයේ චිත්‍ර ප්‍රදර්ශනයටද ඉදිරිපත් කළාය. ඒ අනුව 1942 වසරේදී මෙම චිත්‍රය එකල පැවති පුවත්පත් ගණනාවක කතාබහට ලක් විය. ඇය ලංකාදීප පුවත්පතේ චිත්‍ර ශිල්පිනියක් ලෙස වැඩ අරඹන්නේ එච්.ඩී. සුගතපාල මහතාගේ හඳුන්වාදීමක් ලෙසය. එකල එහි කර්තෘවරයා ලෙස කටයුතු කළේ පුවත්පත් ලෝකයේ දැවැන්තයකු වූ ඩී.බී ධනපාලයන්ය.
ටික කලකින් ලංකාදීප පුවත්පතේ මෙන්ම Times පුවත්පතේද සිතුවම්කරණයේ නියැලුණු ඇය 1952 දී ලේක්හවුස් පුවත්පත් ආයතනයට පැමිණි අතර, ළමා පිටුවට චිත්‍ර නිර්මාණකරණය ඇරඹෙන්‍නේ මේ අනුවයි. ඒ අනුව එම සමාගමේ සියලු සිංහල පුවත්පත්වල විශේෂාංග සහ ළමා පිටුවල සිතුවම්කරණයේ නියැළීමට වාසනාවන්ත වන ඈ, ‘කුඩ හොරා’ කතාව හරහා ලද ජනප්‍රියත්වයත් සමග ළමා පොත් කතුවරියක සහ චිත්‍ර ශිල්පිනියක ලෙස සිය දිවිය ඇරඹුවාය.’කුඩ හොරා’ කෘතියක් ලෙස පළවූයේ 1952 වසරේදීය. මෙය පසුව විවිධ භාෂාවලට පරිවර්තනය වෙමින් ජාත්‍යන්තරයට පවා යාමට සමත් වූ අතර, වසර 65 ක් පුරා ළමා සාහිත්‍යයේ නොමැකෙන සටහන් තැබූ කෘතියක් ලෙස හැඳින්වීම වටී.
ඉනික්බිති ළමා පොත් සිය ගණනක් පුවත්පත්වලට ලියූ ඇය, ලියා සිතුවම් කරන ලද ළමා පොත් ගණන 250කටත් වැඩිය. දැනට ඇයගේ පොත් හයක් ජපානයේ ප්‍රකාශයට පත්ව ඇති අතර, එහිදී ප්‍රකාශයට පත් වී ඇති නවතම කෘතිය ලෙස ‘අපූරු රිදී ගස’ හැඳින්විය හැකිය.
සිබිල් වෙත්තසිංහයන් සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන්ද පොත් ලියන්නියක් වන අතර, ඇගේ ළමා කෘතීන් කිහිපයක්ම දෙමළ බසටද නැගී ඇත.
ශ්‍රී ලංකාවේදී කලා කීර්ති සම්මානය මෙන්ම සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් පිරිනමනු ලැබූ ආචාර්ය උපාධියක්ද දිනා ගැනීමට සමත් වූ ඇය, ළමා කෘති අටකට ඒ ඒ වර්ෂයන්හිදී රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගනු ලැබීය. එමෙන්ම 1995 දී ග්‍රේෂන් සම්මානය දිනා ගත්‍තේ ‘The Child in me’ යන ඇගේ චරිතාපදානය වෙනුවෙනි.
2007 වසරේදී සෝලියස් මැන්දිස් සම්මානයෙන් පිදුම් ලැබූ ඈ, විදෙස් සම්මානයන්ටද පාත්‍ර වූ ලේඛිකාවකි. ඒ අතරින් 1965 දී ඇය දිනූ ’වෙසක් පහන’ වෙනුවෙන් එංගලන්ත කාන්තා කවුන්සලය විසින් පිරිනමනු ලබන ඉසබෙල් හට්න් ත්‍යාගය කැපී පෙනේ. එසේම 1995 වසරේදී ඇය දිනූ ළමා සුබසාධනය සඳහා වන සංස්කෘතිකමය ද්‍රව්‍ය (ජූඩෝ ෆුකුෂි බුන්කා ෂෝ) සම්මානයද සුවිශේෂී වන අතර, එය ඇය දිනාගත්‍තේ ‘හොයිටි නම් හිවලා’ ජපන් පරිවර්තිත ළමා කතාව වෙනුවෙනි. එසේම ඇයට ජපානයේ නිකෛ සම්මානය පිදෙන්‍නේ ළමා කලාපීය සාහිත්‍යයට හා සංස්කෘතියට කළ සේවය වෙනුවෙනි. ඒ 2012 වසරේදීය.
මාලන් විදානපතිරණ