හැම වසරේදීම වගේ මේ වසරේදීත් කුසුම් - ශ්‍රියන්තගේ කැඳැල්ලේ අවුරුදු සිරිය තිබුණා. ආගම් දෙකක ජීවත්වෙන ඔබේ අවුරුදු කාලය ගෙවෙන්නේ කොහොමද...?
ශ්‍රියන්තගේ ආගම කතෝලින වුණාට එයාලගේ ජාතිය සිංහලනේ. ඒ නිසා මේ අවුරුදු චාරිත්‍ර ඒ විදිහටම සියලුම දේ අපේ නිවසේ එදා ඉඳන්ම කෙරෙනවා. නොනගතයට මම පන්සල් ගියොත් ශ්‍රියන්තට පල්ලියට යන්න පුළුවන්. සමහරදාට එයාත් මාත් එක්ක පන්සල් යන්න එනවා. එහෙමත් නැත්නම් එයා ගෙදර පහන පත්තු කරලා ගෙදර ඇතුළේ ඉඳන් ශ්‍රියන්ත එයාගේ ආගම අදහනවා. අවුරුදු ලබද්දී අපි පහන් පත්තු කරලා සියලු ලෝකවාසීන්ට නිරෝගී සුවය, සාමය, සතුට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ආගම් දෙකේම ප්‍රාර්ථනාවක් බොහෝදුරට සමානයි. අපි බුද්ධාගම කියලා කිව්වට අපිට බුද්ධ දර්ශනයක් තමයි තියෙන්නේ. ඒ මොනව වුණත් අපි මිනිසුන් හැටියට අවසානයේ දී අපේ නිවස තුළ අපි සමගිය, එකමුතුකම එදා දවසේ ඉතාම සතුටින් ගත කළා.
ඔව්... ඔව්... නැකැතට කිරිබත් කටක් කවලා, බුලත් හුරුලු දී වැඩිහිටියන් වන්දනාමාන කරගෙන, වැඩිහිටියන්ගේ අතින් ගනුදෙනු කරගෙන ආශිර්වාද ලබාගෙන, හිසතෙල් ගෑමේදී පන්සලෙන් ඒ නානු ගෙනත් හිසතෙල් ගාලා ඒ හැමදෙයක්ම අපි අපේ ගෙදරත් කළා.
මේ සිංහල අලුත් අවුරුද්දේදී ශ්‍රියන්තගෙයි, කුසුම්ගෙයි දරුවන් දෙන්නාම විවාහ වෙලා ඉන්නේ වෙනම පදිංචි වෙලානේ...?
ඔව්... දරුවන් වියපත් වෙලා දැන් ඒ අය ජීවත් වෙන්නේ ඒ වෙනම නිවෙස්වෙලයි. මේ අවුරුද්දේ ඒ දෙන්නා ඒ දෙන්නාගේ කැදැල්ලේ ඒ චාරිත්‍ර වාරිත්‍ර කළා. ඊට පස්සේ දරුවෝ වැඩිහිටි නමස්කාරයට අපේ ගෙදරට ආවා. ඒක තමයි ජීවන රටාව. අපි අපේ දරුවන්ට හොඳ සිරිත් විරිත් කියලා දුන්නා. ඒ නිසා ඒ අයට ඒ යන තැනදී ඒ දේවල් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ විශ්වාසය මටත් ශ්‍රියන්තටත් තියෙනවා. ඒ දරුවන්ට ආශිර්වාදය කරලා අද අපිට සතුටු වෙන්න පුළුවන්. දරුවන්ගේ නිසි කල වයසේදීම ඒ අයට අයිති ලෝකයට අපි ඒ අයව බාර කළා. හැමවෙලේම මේ සතුට, මේ ආශිර්වාදය වගේම මේ පැවැත්මත් ප්‍රාර්ථනා කරනවා. ශ්‍රියන්තටයි මටයි ඒ දරුවන් හරහා ලැබෙන ඒ සතුට වගේම සතුටක් මේ රටේ හැම මව්පියෙක්ටම ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා.
මේ සිංහල අලුත් අවුරුද්දේ ඔය ගෙදර ඒ චාරිත්‍ර වාරිත්‍ර කරන්න සිද්ධ වුණේ ශ්‍රියන්තටත් කුසුම්ටත් තනියම නේද...?
ඔව්... ඒක නම් එහෙම තමයි. අපිට එක පැත්තක් ගන්න බැහැ. එක දරුවෙක්ගේ ගෙදර ගිහින් චාරිත්‍ර කරන්න බැහැනේ. ඊට වැඩිය හොඳම දේ ඒ චාරිත්‍ර වාරිත්‍ර අපි කරලා දරුවන් අපේ ගෙදරට එද්දී ඒ අයව සතුටින් පිළිගැනීමයි ඊට පස්සේ ඒ අයගේ වැඳුම් පිඳුම්වලට අපි යොමුවෙනවා. අපේ පුංචි මිණිපිරීගේ හුරතල් කතා එක්ක හුරතල් හිනා එක්ක අපි ඊළඟට ඒ දවස ගත කළා. ඒක හරි සොඳුරුයි. ඕනෑම අම්මා කෙනෙක් ඕනෑම කෙනෙක් ඒ සතුට විඳින්න හරි කැමැතියි.
නිපුනිත්... තාරුකීත් කුඩා කාලේ දී අවුරුදු කාලේදී වැඩියෙන්ම ආස කළේ මොනවාට ද...?
ඒ දෙන්නා ආස කළේ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරලා ඉවර වුණු ගමන් අපි දෙන්නා එක්ක කෙහේ හරි යන්නයි. අවුරුද්ද පුරාම මායි ශ්‍රියන්තයි කාර්යබහුල වෙද්දී අපි දෙන්නා වැඩ ටිකක් අඩු කරගන්නේ අවුරුදු කාලේදී විතරයි. ඒ දවස් කිහිපයේදී මායි ශ්‍රියන්තයි ෂූටිං වුණත් වැඩිය බාරගන්නේ නැහැ. ඉතින් අපේ දුවලා දෙන්නා බලාගෙන ඉන්නේ ඒ දවස එනකන්ම තමයි. චාරිත්‍ර වාරිත්‍ර ඉවරවුණු ගමන් අපි හතරදෙනා කොහේ කොහේ හරි ගියා. සමහර කාලවලදී රටින් පිට පවා ගියා. ඉතින් ඒ කාලේ එනකන් චූටි දුවලා දෙන්නා ආසාවෙන් තමයි හිටියේ. ඒ කාලේදී අපි දෙන්නාව දන්න කියන අය මුණගැහෙනවා අඩුයිනේ. එහෙම වුණාම ඒ දෙන්නට අපිව තනිකරම අයිති වුණා... ඒ නිසා ඉස්සර හැම අවුරුදු කාලේදීම මාත් ශ්‍රියන්තත් ඒ කැපකිරීම ඒ දෙන්නා වෙනුවෙන් කරනවා.
කුසුම් කියන්නේ හරි රසට කෑම බීම හදන කෙනෙක්නේ. අවුරුදු රසකැවිලි එහෙමත් හරි රසට හදන්න පුළුවන් නේද...?
අපොයි ඔව්... ඒ කෑම බීම වුණත් මට හොඳට හදන්න පුළුවන්. මම හදන කැවිලිවලින් ශ්‍රියන්ත කොකිස් කන්න හරි ආසයි. දරුවනුත් කොකිස්වලට හරි කැමතියි. ඒ නිසා එදා ඉඳන් අද දක්වා සිංහල අලුත් අවුරුද්දට කොකිස් මගේ අතින් හදන එක වරදින්නේම නැහැ. මේ පාරත් මම හැදුවා. අපේ අම්මා තමයි මුලින්ම ඔය කැවිලි පෙවිලි හදනඑක කළේ. ඉතින් අපේ දුවලා දෙන්නත් ළංවෙලා ඒ දේවල් හදන දිහා බලාගෙන හිටියා. අම්මා ඒ දෙන්නාටත් හදන්න කියලා දුන්නා. ඒ දෙන්නට හදන්න දුන්නා. ඒ නිසා පුංචි කාලේදීම ඒ දේවල්වලට හුරු කළා. මගේ ආච්චි අම්මා තමයි මට මුලින්ම ඒ දේවල් කියලා දුන්නේ. මට රේන්ද ගොතන්න, බීරළු ගොතන්න හොඳට පුළුවන්. මම කොළඹ ඉපදිලා කොළඹ හැදුණු කෙනෙක්. හැබැයි මට දෙමෝලේ පිටි කොටන්න හොඳට පුළුවන්. කුල්ලෙන් හාල් පොලන එක පවා හොඳට පුළුවන්. මම හිතනවා මගේ දුවලා දෙන්නත් මේ සිංහල අලුත් අවුරුද්දේ දී ඒ ජීවිත ඇතුළේ හරි අපූරුවට අලුත් අවුරුද්ද සැමරුවා කියලා. දුවලා දෙන්නෙක් හදපු අම්මා කෙනෙක් විදිහට අද ඒ දෙන්නා ගැන මට හරි සතුටුයි.