ඉන්දියාවේ පියා වූ මහත්මා ගාන්ධිගේ එකසිය පනස් වෙනි ජන්ම දිනය වෙනුවෙන් ගැයූ භජන් ගීතයට ලංකාවෙන් භාතිය, සංතුෂ් සහ උමාරියාට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා... කොහොමද ඒ අවස්ථාව ලැබුණේ...?
(මේ පිළිබඳව අපිට මුලින්ම අදහස් කිව්වේ භාතියයි)
අපිට ඒ ආරාධනාව ලැබුණේ ඉන්දියාවෙන්. ශ්‍රී ලංකාවේ තියෙන ඉන්දියානු තානාපති කාර්යාලය හරහා තමයි අපිට ඒ ආරාධනාව ලැබුණේ. ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා බෙහෙරා මහත්මිය තමයි මෙම ව්‍යාපෘතිය බාරව කටයුතු කළේ. දැනට තාරුණ්‍යය සහ සියලු වයසකම අය කැමැත්ත තියෙන කලාකරුවන් කිහිපදෙනෙක් ඔවුන් සොයලා තියෙනවා. ඒ අනුව තමයි සංතුෂ්ටත්, මටත්, උමාරියාටත් මේ අවස්ථාව ලැබුණේ. ඒ අනුව තමයි අපි එකතුවෙලා මේ ගීතය ගායනා කළේ.
මේ අවස්ථාව ලැබුණාම සංතුෂ් මොකද හිතුණේ...?
ඇත්තටම මේ අවස්ථාව අපිට ලැබුණහම අපි හොඳයි කියලා අපි හිතුවා. අපේ ගමන ගත්තොත් ඒ කාලේ ඉඳන්ම ජාත්‍යන්තරයත් එක්ක පුළුවන් තරම් අපේ සංගීතය, අපේ ශ්‍රී ලාංකික හඬ, අපේ අනන්‍යතාවය ගොඩාක් අපි අපේ සංගීතයට එකතු කරගන්න තමයි අපි හැමවෙලේම උත්සාහ කළේ. ඉතින් මේකත් අපිට හොඳ අවස්ථාවක්. ඒ නිසා හරිම කැමැත්තෙන් ඒ අවස්ථාවට අපි එකතු වුණා. ගාන්ධිතුමාගේ ප්‍රතිපත්ති සහ ඒ ක්‍රමය ලෝකෙටම ආදර්ශයක්. අපි දකුණු ආසියාවේ රටවල්නේ... ඉතින් දකුණු ආසියාවේ අපි සියල්ලම එකට එකතු වෙලා වැඩකරන එක වැදගත් වෙනවා. මේ වෙද්දීත් අපි ඉන්දියානු කලාකරුවන් බොහෝමයක් එක්ක වැඩ කරනවා. ඉතින් මේකත් හොඳ අවස්ථාවක් කියලා අපි හිතනවා. මේ ආරාධනාව පිළිඅරගෙන මේ ගීතය පටිගත කරන්න අපි යොමු වුණා.
මේ භජන් ගීතය ටිකක් පැරුණි ගීතයක් නේද...?
ඔව්... මේ භජන් ගීතය කාලයක් තිස්සේ ඉන්දියාවේ නිර්මාණය කරලා තියෙන භජන් ගීතයක්. ඒ නිසා සංගීත නිර්මාණයට සහ පද රචනාවට අපි දායක වුණේ නැහැ. අපි ඒ ගීතය ගායනා කිරීම වගේම ලංකාවේ ඒකේ රෑපරචනයෙන් ද දායක වුණා. අපි වෙනමම අපේම රෑපරචනයක් නිර්මාණය කළා. මේ භජන් ගීතයට ලෝකේ රටවල් හතළිස් හයක් සහභාගී වුණා... ඉතින් ඒ හැම රටකින්ම මේ භජන් ගීතයට රෑපරචනා නිර්මාණය කරලා ඉන්දියාවට ලබලා දුන්නා.
ලෝකේ රටවල් හතළිස් හයකින් සමන්විත වුණු ප්‍රධාන භජන් ගීතයේදී අපේ ශ්‍රී ලංකාවට ප්‍රමුඛ අවස්ථාවක් ලැබුණා නේද...?
ඔව්... ඒ ගැන තියෙන්නේ ඇත්තටම සතුටක්. අපි වගේම අනිකුත් රටවල් හතළිස් හයම මේ ගීතයට ඒ ඒ රටවල්වලින් රෑපරචනා නිර්මාණය කළා. ඊට පස්සේ ඉන්දියාවේ ඒ එකම ගීත හතළිස් හයෙන්ම යම් කොටසක් ගෙන වෙනමම තනි ඒ භජන් ගීතයට රෑපරචනාවක් කරලා ගීතය නිර්මාණය කළා. ඉතින් ඒ රටවල් හතළිස් හයෙන් එකතු කරලා නිර්මාණය වුණේ. ගීතය ආරම්භය වෙන්නේ අපේ කොටසෙනුයි. ඒ කියන්නේ ඒ භජන් ගීතය ආරම්භ වෙන්නේ ශ්‍රී ලාංකික හඬවලිනුයි. ඇත්තටම ඒක ලොකු සතුටක්. රුසියාව, එංගලන්තය, මෙක්සිකෝව, මැලේසියාව, පකිස්ථානය, බංගලාදේශය මෙන්ම තවත් රටවල් බොහෝමයක් මේ අවස්ථාවට සහභාගී වුණා. ඉතින් ජාත්‍යන්තර ගීතයේ රෑප සංස්කරණය කළේ ඉන්දියාවෙන්. මෙයින් මේ රටවල් හතළිස් හයෙන්ම ලංකාවට ප්‍රමුඛත්වය දීලා තිබුණා.
භාතිය පසුගියදා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ ගීතයට වගේම ලංකාවේ අපේ හඬට ලොකු පැසසුමක් ලැබුණා නේද...?
මහත්මා ගාන්ධිතුමාගේ එකසිය පනස් වැනි ජන්ම දිනය වෙනුවෙන් තමයි මේ භජන් ගීතය නිර්මාණය වුණේ. ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සබඳකම් පවත්වන රටවල් එක්ක සම්බන්ධ වෙලා ගාන්ධිතුමා කැමතිම භජන් ගීතය නිර්මාණය කරන්න ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඕනවෙලා තිබුණා. ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ නිදහස් අරගලයේදී ගාන්ධිතුමා විසින් පාවිච්චි කළ භජන් ගීතයක් තමයි මේක. ඉන්දියානු ජනතාව හැමෝම මේ ගීතය හඳුන්වන්නේ “ගාන්ධි භජන්” එක කියලයි. ඒ වගේම ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මහතා මේ පිළිබඳව ගොඩාක් සතුටු වෙලා තිබුණා. ජාත්‍යන්තරව කරන වැඩකටයුතුවලදී ශ්‍රී ලංකාවට විශේෂ සැලකිල්ලක් ලැබුණා කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඔහුට ඒ ගීතයට සහ ලංකාවේ හඬට ලොකු පැසසුමකට ලක්කළා. ඉතින් ඒකත් හරි සතුටට කාරණයක් වුණා.
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ පැසසුමට ලක්වුණු මේ ගීතය වෙනුවෙන් ඔහු පෞද්ගලිකව ඔබලාට කතා කළේ නැද්ද...?
නැහැ... පෞද්ගලිකව නම් කතා කළේ නැහැ. අගමැති මෝදි Twitter පණිවිඩයකින් මේ ගීතයට ප්‍රසංසා කරලා තිබුණා.
සංතුෂ් ඒ ගීතයේ වචන ගයන්න අමාරු වුණාද...?
මීට පෙර අපි හින්දී ඇල්බම් එකක් කරලා තිබුණා... වචන අපේ භාෂාව තරම් අපිට ලේසි වුණෙත් නැහැ. හැබැයි ඉන්දියාවට අපි මීට පෙර “නමස්තේ* ඇල්බම් එකක් කළ නිසා ලොකුවට අමාරුවක් දැනුණේ නැහැ. ඒ නිසා පුහුණුවීම් කරලා මේ භජන් ගීතය ගායනා කරන්න අපිට පුළුවන් වුණා... දකුණු ආසියාවේ තියෙන ආභාෂය තමයි මෙතන තියෙන්නේ. ඒක අපිට නුහුරු නුපුරුදු ආභාෂයක් නෙමේ... හැබැයි ඉතින් ප්‍රංශ හරි ජර්මන් හරි ගීතයක් ගායනා කරන්න ලැබුණොත්නම් ඒක ටිකක් අමාරු වෙන්න තිබුණා.
ඉන්දීය අයගෙන් ලැබුණු ප්‍රතිචාර මොනවාද...?
අපිට තානාපති කාර්යාලය හරහා ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා... ඒ දවස්වල අපිට විදෙස් සංචාර කිහිපයක්ම යෙදිලා තිබුණා... ඒ නිසා අපි ටිකක් කාර්යබහුල වෙලා තමයි හිටියේ. ඉතින් අපේ පටිගත කිරීම් අන්තිම වෙනකන්ම අපිට කල්දාන්න සිද්ධ වුණා... අපි අපේ කොටස කරලා ඉන්දියාවට යැව්වට පස්සේ ඒ අය ගොඩාක් සතුටු වුණා. අපි ඒක රෑගත කළේ නිදහස් චතුරස්‍රය ආශ්‍රයෙනුයි. ඒ වගේම අපි ඒ ගීතයට ලංකාවේ තියන සංස්කෘතික දේවල් ටිකකුත් අපි පොඩ්ඩක් එකතු කළා. මේ ගීතය ගායනා කරන්න භාතිය, උමාරියා, මම වගේම අසංක ධනංජය සහ රශික ප්‍රදීප දෙදෙනාත් අපිට එකතු වුණා. ඒ වගේම මේ ගීතයට නර්තනයටත් කිහිප දෙනෙක්ම එකතු වුණා.
භාතිය සංතුෂ් යම් නිර්මාණයක් කරද්දී අපේකමට මුල් තැනක් දෙන්න උත්සහා ගන්නවා නේද...?
ඔව්... අපේ ගීත ජාත්‍යන්තරයට ගෙන යනකොට අපේකම තියෙන දේවල් කිහිපයකුත් අපි කොහොම හරි ඒ ගීතයට ඇතුළු කරගන්න උත්සහා කරනවා. ශ්‍රී ලාංකික නර්තනය වගේ අංග කිහිපයකුත් අපි මේකටත් එකතු කළා. ඒ තුළින් අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය පෙන්වන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒවා ජාත්‍යන්තරයට හරි අලංකාරව පෙන්න පටන් ගන්නවා. සමහරවිට අපි ඉදිරිපත් කළ ඒ දේ අපේ රටේ මිනිස්සුන්ට පොඩ්ඩක් වෙන්න ඇති. නමුත් වෙන රටවල ඉන්න අයට ඒක හරි සැරට පේනවා. ඒකෙන් අපේ රටේ අපේකම ලොවටම ගෙනියන්න පුළුවන් වෙලා තියනවා.
සංතුෂ්... මේ භජන් ගීතයේ තේරුම මොකක්ද...?
“වෛෂ්නව ජය තෝ* නම් මේ ගීතයේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ ගාන්ධිතුමාගේ අවිහිංසාව තුළින්, මනුෂ්‍යත්වය තුළින් අපි හොඳ පුරවැසියන් විදිහට ජීවත් වෙමු කියන අදහස තමයි ඒ ගීතයේ ලියවිලා තියෙන්නේ.
ඉන්දියාවේ භජන් ගීතයක අපේ හඬ ගෙනගිය භාතිය සංතුෂ්ලාගේ ඊළඟ ඉලක්කය මොකක්ද..?
ඔව්... අපි අලුත් ඇල්බම් එකකින් තවත් අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි සංගීත ක්ෂේත්‍රයේ ඉඳලා අවුරුදු විස්සක් වෙනවා. ඒ අවුරුදු විස්ස අපි තනියම ආපු ගමනක් නෙවේ. ඒ අවුරුදු විස්සේදීම රටේ අපේ රසික රසිකාවියන් අපේ නිර්මාණවල සංගීතඥයෝ අපේ හිතවත් මාධ්‍ය ආයතන වගේම බොහෝ දෙනෙක් අපිට ලොකු ශක්තියක් මේ ගමන එන්න දුන්නා. ඉතින් අපි මේ ලබන අවුරුදු විස්සේදී තවත් අලුත් ගීත විස්සක ඇල්බම් එකක් තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක බොහෝ වෙලාවට මේ අවුරුද්දේ අග එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ලබන අවුරුද්දේ මුළු වර්ෂය පුරාම ඒ ගීත විස්ස අහන්නට අවස්ථාව ලැබේවී.
Text –Dishani / Pic – Internet