1949 දී ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ අත්මල්ලික් ප්‍රදේශයේ දී ප්‍රද්යමුනා කුමාර් මහනන්දියා නැමැත්තෙකු උපත ලැබුවා. මහානන්දියාගේ දෙමාපියන් අලුත උපන් බිළිඳාගේ ජන්ම පත්‍රය සෑදීම සඳහා අත්මල්ලික් හි සිටි කීර්තිමත් ජෝතීර්වේදියෙකු ළඟට යෑමට තීරණය කරනවා.
මහනන්දියාගේ උපත සහ පරිසරයේ තිබූ වෙනස් භාවයත් සැලැකිල්ලට ගනිමින් මෙම ජෝතීර්වේදියා පළමු අනාවැකිය පළ කරන්නට සමත් වුණා. ඒ මේ දරුවා වර්ණ සමග ජීවිතය ගොඩනඟා ගන්නා බව පවසමින්. එය සත්‍යයක් වන්නට පටන් ගත්තේ මහනන්දියා වයසින් වැඩෙද්දී ම චිත්‍ර ඇඳීමට මහත් ආශාවක් ඇති වීම නිසයි. දිනක් මහනන්දියාට නොසිතු දෙයකට මුහුණ දීමට සිදුවෙනවා. ඒ නයෙකුගේ දෂ්ටනයකට ලක් වීම යි. ප්‍රතිකාරවලින් පසු ව මහනන්දියාව දෙමාපියන් නැවතත් කුඩා කළ අනාවැකි පළ කරන ලද ජෝතීර්වේදියා වෙත ම රැගෙන ගියේ ඔහුගේ අනාගතය කුමක් වේවි ද යන්න නිශ්චිත කර ගැනීම සඳහා යි.
ජෝතීර්වේදියා මහනන්දියාගේ ජන්ම පත්‍රය පරික්ෂා කර බලා අනාවැකියක් පළ කළේ සිත් ඇද ගන්නා සුළු කතාවක් ද සමගිනුයි. ඔහු ජීවත් වෙන ගමෙන්, ප්‍රාන්තයෙන්, රටින් ගොඩාක් දුර බැහැරක සිටින තරුණියක් හා ආදරයෙන් බැඳෙන බවත්, අැය සමග මහනාන්දියා විවාහ වෙන බවත් ජෝතීර්වේදියා ඔහුගේ අනාවැකිය තුළින් කියන්නට වුණා. ඒ වගේ ම මහනාන්දියා ඇය ව සොයාගෙන නොයායුතු බවත්, ඔහුගේ ආදරය හිමි තරුණිය ඔහු වෙතට එන බවත් ජොතීර්වේදියා අවසානයේ ජන්ම පත්‍රයේ ලියා තැබුවා.
මහනන්දියා තමන්ගේ චිත්‍ර ඇඳීමේ කුසලතාවය වැඩි දියුණු කර ගනිමින් ඔහුට ම අනන්‍යතාවයක් ගොඩනඟා ගන්නට සමත් වන්නේ පුවත්පත් කිහිපයකට චිත්‍ර නිර්මාණයන් සිදුකරමින්. පසු ව, ඔහු ගමේ ජීවිතයට සමු දී නව දිල්ලිය වෙත යන්නේ වීදි සිත්තරුවෙක් ලෙස නව වෘත්තියක් අරඹමිනුයි. 1975 ශීත ඍතුව ඇරඹී තිබුණු දෙසැම්බර් 17 වැනි දා මහනන්දියා නව දිල්ලියේ කොනොට් පෙදෙසේ වීදියක සිතුවම් අඳිමින් හිටියා. මේ අතර ඉන්දියානු සංචාරයකට පැමිණ සිටි චාර්ලට් වොන් ශැච්ඩ්වින් නම් ලා වන් දුඹුරු පැහැයෙන් යුතු හිස කෙස් සහිත නිල්වන් දෑසක් හිමි සුන්දර තරුණියක් මහනන්දියාගේ සිතුවම් අඳින ස්ථානයෙන් යන්නට වුණා.
මේ සුන්දර යුවතිය දුටු මහනන්දියා ඇයගේ චිත්‍රයක් ඇඳීමට මිනිත්තු දහයක කාලයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටියා. චාර්ලට් ද මහනන්දියාට අවස්ථාවක් ලබා දී බලන්නට සිතූ අතර, මහනන්දියා සිතුවම අඳින තුරු ඇය නිහඬ ව බලා සිටියා. නමුත් අවසන් සිතුවමේ ඇයට සතුටු විය හැකි තරම් ප්‍රතිඵලයක් නොතිබුණු නිසා, පසු දා නැවත එන බව කියා ඇය පිටත්ව ගියා. දෙවන දිනයේ දී ද ඇයට සතුටු විය නොහැකි දෙයක් සිතුවම තුළින් ලැබුණේ නැහැ. ඇය ව සතුටු කළ හැකි දෙයක් නොතිබුණු බැවින් මහනන්දියා ඔහුට කුඩා කළ මව නිතර ම කියූ ජොතීර්වේදියාගේ අනාවැකිය ගැන කියන්නට වුණා.
මහනන්දියා උපත ලැබුවේ දිළිඳු දෙමාපියන් යුවළකට දාවයි. ඒ නිසා ම ගමේ පාසලේ දී හා සමාජයේ දී සමවයස් තරුණයන් සමග කාලය ගත කරන විට ඔහුට නිතර ම පාහේ තාඩන පීඩනයන් ට ලක්වීමට සිදුවුණා. ඒ නිසා ම මහනන්දියා සෑම විට ම කාලය ගත කළේ දුකෙන්. ඔහුගේ සිත හැදීමට මහනන්දියාගේ මව ඔහු කුඩා කාලයේ ජෝතීර්වේදියා පැවසු අනාවැකිය ගැන කියන්නට වුණා. වෘෂභ ලග්නය හිමි, වනාන්තරයක අයිතිය ඇති දුර ඈත පෙදෙසක තරුණියක් ඔහු වෙනුවෙන් සිටින බවත්, ඇය දිනෙක ඔහු වෙත එන බවත් මව නිතර ම ඔහුට පැවසුවා. මහනන්දියා එම අනාවැකිය තහවුරු කර ගැනීමට චාර්ලට්ගේ විස්තර ඇසුවා.
චාර්ලට් වොන් ශැච්ඩ්වින් ස්වීඩන් ජාතික තරුණියක වූ අතර, අැයට කුඩා වනාන්තර පෙදෙසක් පවතින බව ද ඇය පවසා සිටියා. ඒ මෙන් ම ඇය වෘෂභ ලග්නයෙන් උපත ලබා ඇති බව ද මහනන්දියා හට පවසා සිටියා. මහනන්දියාගේ සිත සෙවූ තරුණිය ඇය බව ඔහුට සිතුණා. මහනන්දියා, අැයට තේ පානය සඳහා ආරාධනා කළේ බය මුසු හැඟීමකින්. ඒ වීදියේ සිතුවම් අඳින්නෙකු, ඇයට අයුතු යෝජනාවක් කළායැ යි පොලීසියට කියයි යන බියෙන්. නමුත් චාර්ලට්ගේ ප්‍රතිචාරය සම්පුර්ණයෙන් ම වෙනස් එකක් වුණා. ඇය ඔහු සමග තේ පානය සඳහා ද ගියා. පළමු හමුවීමෙන් පසු නිතර ම ඔවුන් දෙදෙනා හමු වූ අතර, මහනන්දියාගේ ඉල්ලීම් කිහිපයකින් පසු ව ඇය, ඔහුගේ ගමට පැමිණීමට තීරණය කරනවා. අත්මල්ලික්වල තිබූ ප්‍රසිද්ධ පන්සලක් වු කොනාරක් පන්සලට යාමට ද ඔවුන් අමතක කළේ නැහැ.
මහනන්දියා තමන්ගේ කුඩා කාලයේ පැවසූ අනාවැකිය සත්‍ය බව පෙන්වීම සඳහා ඇය ව දෙමාපියන් වෙත රැගෙන ගියේ සාම්ප්‍රදායික ලෙස සාරියක් ද අන්දමින්. දෙමාපියන්ගේ ආශිර්වාද ඇතුව මහනන්දියා සහ චාර්ලට් මහනන්දියාගේ පවුලේ සිරිත් විරිත්වලට අනුව විවාහ වූ බව ද සඳහන් වෙනවා.
මහනන්දියා සහ චාර්ලට් අතර සම්බන්ධය ආත්මීය බැඳීමක් දක්වා වර්ධනය වී තිබුණා. නමුත් ඇයට නැවත ස්වීඩනය වෙත යාමට දින ළඟා වෙමින් තිබුණා. ඇය ඉන්දියාව වෙත පැමිණ තිබුණේ ප්‍රසිද්ධ හිප්පි චාරිකාවේ පැමිණි ඇයගේ මිතුරියන් ද සමග යි. දෙදෙනා වෙන්ව යන මොහොතේ මහනන්දියා පොරොන්දුවක් වුණා. ඒ, චාර්ලට්ගේ නිවස පිහිටා තිබුණු බොරාස් හී ටෙක්ස්ටයිල් නගරයේ දී මුණ ගැසෙන බව යි. දෙදෙනා වෙන්ව ගියත් ලියුම් හරහා ඔවුන් අතර සම්බන්ධ පවත්වාගෙන ගියා.
වසර ගෙවී ගිය තැන මහනන්දියා ඇය වෙතට යාමට තීරණය කරනු ලබනවා. නමුත් ඔහුට ගුවන් ටිකට් පතක් මිල දී ගැනීමට තරම් වත්කමක් තිබුණේ නැහැ. එයට පිළියමක් සෙවූ ඔහු තමන් ළඟ තිබූ වටිනා දේවල් කිහිපයක් අලෙවි කොට, භාවිත කරන ලද පාපැදියක් මිල දී ගන්නට සමත් වෙනවා.
මහනන්දියා පා පැදියන් තමන්ගේ ගමන ආරම්භ කිරීමට තීරණය කරන්නේ චාර්ලට් හිප්පි චාරිකාව පැමිණි ගමන් මාර්ගයෙන්. හිප්පි චාරිකාවේ ගමන් මඟ යෙදී තිබුණේ ස්වීඩනයෙන් පටන් ගෙන යුරෝපය හරහා තුර්කිය, ඉරානය, පාකිස්තානය, හරහා ඉන්දියාවට යි.
1977 ජනවාරි 22 වැනි දා ඇරඹුණු ඔහුගේ ගමන, සැලැසුම් කර තිබුණේ දිනකට සැතපුම් 44ක දුරක් පාපැදියන් ගමන් කිරීමට යි. 70 දශකයේ දී රටකින් රටකට ඇතුළු වීම සඳහා වීසා අවශ්‍ය නොවුණත්, චාරිකාව සිතු තරම් පහසු එකක් වුණේ නැහැ. පාකිස්තානය පසුකර ඇෆ්ගනිස්තානයට ඇතුළු වූ මහනන්දියා හට ආහාර සහ අනිකුත් පහසුකම් සපයා ගැනීමට පහසු වුයේ ඇෆ්ගනිස්තානය තුළ හින්දි භාෂාව භාවිතයට ගන්නා නිසාවෙනුයි. මහනන්දියා පවසා තිබුණේ ඇෆ්ගනිස්තාන ජනතාව සිතුවම්වලට බොහෝ සෙයින් කැමත්තක් දක්වන අය වු අතර, ඔවුන්ට සිතුවම් ඇඳ අලෙවි කරමින් ඔහුගේ ආහාර පාන සඳහා මුදල් උපයා ගත් බව යි.
නමුත් ඔහුට ඉරානයේ දී ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවන්නේ සන්නිවේදනය සඳහා භාෂාව දැන නොසිටි බැවිනි. ඒ අවස්ථාවේ දී ද සිතුවම් තමන්ට මහඟු උපකාරයක් වූ බව පවසා තිබුණේ චිත්‍ර කලාව විශ්ව සන්නිවේදන භාෂාවක් බව ද පවසමින්.
සෑහෙන්න දුර ප්‍රමාණයක් පා පැදිය පැදගෙන යාම නිසා ඔහුගේ දෙපා තදින් වේදනාව දුන්න ද, චාර්ලට් මුණ ගැසීමේ ප්‍රබල අරමුණ එම වේදනාව යටපත් කළ බව මහනන්දියා පවසා තිබුණා. සමහර අවස්ථාවන් හි දී ඔහුට පොලීසියේ ප්‍රශ්න කිරීම්වලට හසුවන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැකයට හසුවීම නිසා යි. සමහර දිනවල දී ඔහුට නවාතැන් හමු නොවු අවස්ථාවන් ද තිබුණා. එවන් අවස්ථාවල වීදිවල නිදා ගත්තේ හිස් අවකාශයෙන් අහස දෙස බලා චාර්ලට් ගැන සිහිපත් කරමිනුයි.
1977 මැයි 28 වැනි දා ඔහු යුරෝපය වෙත ළඟ වන්නේ ඉස්තාන්බුල් සිට වියානා නුවර දක්වා ගමන් කරනා ගොතන්බර්ග් දුම්රිය ගමනින් ද පසු ව යි. මාස 4 යි, දින 6ක් පුරාවට ත්‍රාසජනක චාරිකාවකින් පසු ව සැතැපුම් 7000ක පමණ දුරක් ගෙවාගෙන ඔහු චාර්ලට් ව බැලීම සඳහා පා පැදියෙන් ගමන් කර තිබුණා.
නමුත් එතරම් දුරක් ගෙවාගෙන පැමිණියත් චාර්ලට්ගේ දෙමාපියන් මේ වෙනත් සංස්කෘතියක් හිමි තරුණයාට පෙන්වුයේ අකමැත්තක්. නමුත් දීර්ඝ කතාබස්වලින් අනතුරුව මෙම යුවළට නීත්‍යනුකූල ව 1979 දී විවාහ වීම සඳහා අවසර ලැබෙනවා.
යුරෝපය පිළිබඳවත්, එහි සංස්කෘතිය පිළිබඳවත් කිසිදු අදහසක් නොතිබුණු පී. කේ. මහනන්දියා, චාර්ලට්ගේ සහාය ඇති ව එයට පුරුදු වන්නට වුණා. ඔහුගේ සුපුරුදු වෘත්තිය වූ චිත්‍ර ඇඳීම ඔහු ස්වීඩනය තුළ ද ආරම්භ කළා. 66 වන වියේ පසුවන මහනන්දියා දැන් දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහුගේ වීරකම් අගයා ගෞරවයක් ලෙස ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්ත රජය විසින් ඔහුට ඔඩිස්සා ප්‍රාන්තයේ සංස්කෘතික තනාතිපති ධූරය ද පිරිනැමුවා. එමෙන්ම ඔඩිස්සා ප්‍රාන්තයේ ම බුහුබනේෂ්වර්වල පිහිටි උත්කල් සංස්කෘති විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද ඔහුට පිරිනැමුවා.
ඔහුගේ චාරිකාව ගැන අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ යුරෝපයට පා පැදියෙන් පැමිණිම මහ දෙයක් නොවන බවත්, ඔහුට එය කිරීමට තිබු දේ බව යි. ඔහුට චාර්ලට් ව මුණගැසීමට යාමට මුදලක් නොතිබුණු බව ද ඔහු පවසා තිබුණා. ඔහු පා පැදිය පැද්දේ ආදරය වෙනුවෙන් බවත්, ඔහු පා පැදි පැදීමට ආසාවක් නොවන බවත් ඔහු තවදුරටත් පවසා සිටියා.
මහනන්දියාගේ කතාව අලලා පීයර් ජේ. ඇන්ඩ්‍රසන් නම් නවකතාකරුවෙකු විසින් “ The Amazing Story Of The Man Who Cycled From India To Europe For Love” නමින් පොතක් ද රචනා කර තිබෙනවා.