”සේපාලි කියන්නෙ පුංචි දරුවකුගේ අම්මා කෙනෙක්. මගෙ අම්මා, තාත්තා නැති නිසා මල්ලි ඉන්නෙත් මා එක්කයි. දුප්පත් පවුලක කෙනෙක් නිසා සැමියාගෙන් නිතර ඇනුම්පද අහන්නත් වෙනවා. සේපාලිගෙ මල්ලි ගෙදර නතර වෙලා ඉන්නවට සැමියා කැමති නැහැ. ඒ නිසා එයා මල්ලිට නොයෙක් ඇනුම්පද කියනවා. සහෝදර පේ‍්‍රමය නිසා සේපාලි ඒ සියල්ල දරාගෙන ඉන්නවා. සේපාලිගෙ සැමියා සේපාලි වගේ නොවෙයි, ඒ චරිත දෙක සසදද්දී ඒක හරියට අහසට පොළව වගෙයි. සේපාලිගෙ සැමියා ලෙස රඟපාන්නෙ ගිරිරාජ් කෞෂල්‍ය. එයා හරිම දක්‍ෂ රංගන ශිල්පියෙක්. රූගත කරද්දී පවා හරිම විනෝදජනකයි.” මේ විදියට කියන මේ සේපාලි අපට හමුවන්නෙ මේ දිනවල විකාශය කෙරෙන ශාන්ත සොයිසාගෙ ‘ජීවිතය ඇති තුරා’ නාට්‍ය මාලාව සමගයි. සේපාලි විදියට රඟපාන්නෙ, ශාලිකා අරුන්දතී එදිරිසිංහයි. කාලයකට පසුව මේ කතාබහ ‘ශාලූ’ එක්කයි.
හොඳයි. සාමාන්‍ය විදියට ෂූටිං කරගෙන හොඳින් ජීවත් වෙනවා.
ශාලිකා කියන්නද? ශාලූ කියන්නද?
මගේ යාළුවෝ සහ වැඩි දෙනෙක් කියන්නෙ ශාලූ කියලයි.
ගෙදර අය කොහොමද කතා කරන්නෙ?
අයියලා තුන්දෙනයි, අම්මයි, තාත්තයි කියන්නෙ සුදු මැණිකෙ කියලයි.
එතකොට මහත්තයා කොහොමද කතා කරන්නෙ?
තවම විවාහ වෙලා නැහැනේ.
ජීවිතේ ඇතිතුරා නාට්‍යයේ (ITN) තරුණ වයසේ අම්මෙක්ගෙ චරිතයක් කරන්නෙ? මොකද ඒ ගැන හිතන්නෙ?
කුඩා දරුවෙක් සිටින මවකගේ චරිතයක්. දුප්පත් පවුලක කෙනෙක් නිසා සැමියාගෙ සියලූ අකටයුතුකම් ඉවසා දරාගෙන ජීවත්වන කාන්තාවක්.
මම අහන්නෙ තාරුණ්‍යයේ සිටින ඔබට මවකගෙ චරිත කරන්නට ලැබීම ගැන?
අපට ලැබෙන චරිත කරන්න වෙනවා. මම මේ චරිතය කරන්නෙ කැමැත්තෙන්. ඒත් සමහරවිට මේ වගේ චරිතයක් කළාම දිගටම ඒ වගේ චරිතවලට ආරාධනා ලැබෙන්න පුළුවනි. ඒවා හොඳ නම්, බාරගන්නවා.
මේ චරිතය හැර, මේ දිනවල දැකගන්න පුළුවන් වෙනත් චරිත?
සමන් ප‍්‍රනාන්දුගෙ අලූත් නාට්‍යයක රඟපානවා. පසුගිය කාලයේදී ෂඔභ සහ ජාතික රූපවාහිනියෙ මම රඟපෑ නාට්‍ය විකාශය වුණා. එක් චරිතයක් ඉවර වෙනකොට මොකක් හෝ චැනල් එකක දිගටම නාට්‍යයක් විකාශය වුණා.
අදටත් කතා වන්නෙ?
මුල්ම කාලයේදී ඒ කියන්නෙ අවුරුදු පහළොවකට විතර පෙරදී වසූදා නිසා කතා වුණා. කාලයෙන් කාලයට ඒ විදියට කතා වෙච්ච නාට්‍ය අතර කෝරළේ මහත්තය, ඉහිරුණු කිරි, නාටක මාරයි, සඳ එළිය ඒ වගේ නාට්‍ය කීපයක්ම තියෙනවා. අද බොහෝ දෙනා කතා වන්නේ ජීවිතේ ඇතිතුරා චරිතය ගැනයි.
චිත‍්‍රපට ගැන උනන්දුවක් නැද්ද?
කීපයකට දායක වුණා. තුෂාරා, සුදුසළු, සරුංගල්. ඊට අමතර තව කීපයක් තිරගත වීමටත් නියමිතයි. හොඳ චරිතයක් කිරීමේ ලොකු ආසාවක් තියෙන්නෙ. ඒ වගේම චිත‍්‍රපටයක් නිර්මාණය කිරීමට මට තියෙන්නෙ ලොකු ආසාවක්. ඒ කියන්නෙ අධ්‍යක්‍ෂණය පැත්තෙන් නොවෙයි. නිෂ්පාදන අංශයෙන්.
ශාලිකා රඟපෑම ගැන විතරමද හිතුවෙ?
පොඩි කාලයේ ඉඳලාම නර්තනයට යොමු වෙලා හිටියෙ. පහ වසර වගේ සිටියදී සමස්ත ලංකා අංශයෙන් ජයග‍්‍රහණය පවා ලැබුවා. මට තිබුණෙ නර්තන අංශයේ ගුරුවරියක වීමේ සිහිනයයි. උසස් පෙළ විෂයන් පවා තෝරා ගත්තෙ එම අංශයෙන්. පාසලේදී ‘සාම’ ජාතකය ඇසුරින් කළ නාට්‍යයේ මුලින්ම රඟපෑමට ලැබුණා. පසුව පුත නොබලන් හෙළ ගැඹුරුයි, නෙයිනගෙ සූදුව නාට්‍යවල රඟපෑවා. ඒ අතරේදී වී. සිවදාසන් මහතාගේ කිඳුරු නදිය ටෙලි නාට්‍යයේ කාංචනා මෙන්ඩිස්ගෙ නංගි ලෙස රඟපෑමට ලැබුණා. මේ ගමන පටන් ගත්තෙ ඒ විදියටයි.
අද මොකද හිතෙන්නෙ මේ ක්ෂේත‍්‍රයට ආ එක ගැන?
බොහෝ දක්‍ෂ අය අද මේ ක්ෂේත‍්‍රයේ සිටිනවා. ඒත් මම කිසි දෙයක් අභියෝග කරගෙන නැහැ. දක්‍ෂ අය වගේම ඔහේ එනවට ආපු පිරිසකුත් ඉන්නවා. ඒ කවුරු හෝ වේවා මට ලැබෙන චරිතය අභියෝගයක් නැතුව මම කරනවා.
ශාලූ, ආදරේ ගැන හිතන්නෙ කොහොමද?
උත්තරීතර දෙයක්. මව් කුස ඉඳලා ලැබෙන උත්තරීතර දෙයක්. ඒත් සමහර විට දෙදෙනකු අතර ආදරයේදී ප‍්‍රායෝගිකව එය ප‍්‍රකාශ වන අවස්ථා අඩුයි. අපේ මව්පියන්ගෙ කාලයේදී වගේ නෙවෙයි. අපේ කාලයේදී ආදරය වෙනස්. අපි අපේ මව්පියන් තරමට ආදරයේදී වාසනාවන්ත වෙලා නැහැ. ආදරයේ ගරුත්වයට, ගැඹුරට, අරුතට අද වටිනාකමක් නැහැ වගෙයි මට නම් පෙනෙන්නෙ.
පෙනෙන්නෙ ආදරයෙන් පැරදිලා වගෙයි? විරහා වේදනාව විඳවලා තියෙන හැඩයි?
ඔව්, උපරිමයෙන් විඳවලා තියෙනවා.
විරහව විඳ දරා ගන්නෙ මොන විදියට ද?
දුක් සිංදු අහන්න ගියේ නැහැ. එතකොට දුක තවත් වැඩියි. විරහාවෙන් ඉන්නකොට තව කෙනෙකුට ආදරය කරන්න බැහැ. එහෙම කරනවා නම්, ඒක බොරුවක්, ඉතින් මගේ ජීවිතයේ විරහව විඳපු වෙලාවෙ මම ධර්මය එක්ක හිටියෙ. මට උදව් වුණේ පන්සල සහ ඒ ආගමික පරිසරයයි. ඊට සම්බන්ධ පොතපත කියෙව්වා. මගේ හිත ශක්තිමත් වුණා. අපට ඇත්ත තේරුම් ගන්න වෙනවා. ජීවිතේ විඳවන තරමට හිතෙන්නෙ අපි කරපු අකුසලයක් ගෙව්වා කියලයි. ජීවිතේ කොහොමටත් බැඳීම් අත්හරින්න වෙනවා. ඒ වටහා ගැනීම අපට අත්‍යවශ්‍යයි.
ගෙදරට කොහොම චරිතයක්ද?
ගෙදරට පණ වගේ චරිතයක්. වතුරට වඩා ලේ බරයි කියලනෙ කියන්නෙ. මගේ ජීවිතයට කවුරු ආවත් මුල්තැන අයියලා තුන්දෙනාටයි, අම්මටයි, තාත්තාටයි.
කොහොමද විවාහය ගැන හිතන්නෙ?
හොඳ තේරුම් ගැනීමක්. මාව තේරුම් ගැනීම වගේම දරුවකුට හොඳ පියකු වීම ඒ විවාහයේ අරුත දනවන්නක්. මනුෂ්‍ය ආත්මය ලබනවා තරම් දෙයක් මේ විශ්වයේ තවත් නැහැ. අපි ඒක අරුත්බර කර ගන්න ඕනෑ. මම හරිම සරල ආගම, දහමට ලැදි පොළවෙ පය ගහලා ජීවත්වන කෙනෙක්. පවුලට ලැදි කෙනෙක්. විවාහයේදීත් මම එහෙම වේවි. හොඳ කෙනෙක් ලැබුණොත් විවාහ වෙනවා.
සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ